නෙල්සන් මැන්ඩෙලා දිවියෙන් සමුගනී. | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දිගු කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළි සිටි දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයින්ගේ වීරයා ලෙස සැලකෙන එරට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 95 වැනි වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

මැන්ඩෙලා මහතාගේ සමුගැනීම ගැන වත්මන් දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සුමා විසින් එරට මාධ්‍යවෙත මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

“ අපේ රටට උතුම් පුතෙක් අහිමි වුණා“ යනුවෙන් ජෙකොබ් සුමා ජනාධිපතිවරයා විසින් මැන්ඩෙලා මහතාගේ අභාවය ගැන ශෝකය පළ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනූව නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අවසන් කටයුතු

ලබන සෙනසුරාදා සිදුකිරීමට නියමිත අතර අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

නෙල්සන් මැන්ඩෙලා මහතාට ශෝකය පලකිරීම සඳහා දකුණු අප්‍රිකානු ධජය අඩකුඹු කර තබන ලෙස වත්මන් ජනාධිපති ජෙකොබ් සුමා ඉල්ලීමක් ද කර ඇත.

මැන්ඩෙලා මහතාගේ අභාවය ගැන සැලවීමෙන් පසු පුද්ගලයින් විශාල පිරිසක් හඬා වැලපෙමින් ඔහු දැක ගැනීමට දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් පිහිටි නිවෙස වෙත පැමිණෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

පෙනහළු පිළිකාවකින් පීඩා විඳි මැන්ඩෙලා මහතා සිය ජීවිතයේ අවසන් කාලයේදී ප්‍රිටෝරියා හි රෝහලක මෙන්ම නිවසේ සිටද ප්‍රතිකාර ලබමින් සිටියේය.

2004 වසරේදී සාමාජීය කටයුතුවලින් නිල වශයෙන් විශ්‍රාම ගන්නා හෙතෙම 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටින අවස්ථාව විය.



වර්ගවාදයට එරෙහි නිදහස් සටනේ වීරයා වූ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ජීවිතයෙන් බිඳක්...



1918 ජුලි මස 18 වන දින දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කි හිදී උපත ලැබූ මුල්ම ස්වදේශික ජනාධිපති ලෙස නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය.

නෙල්සන් මැන්ඩෙලා උපතින් අප්‍රිකාවේ තෙම්බු ජනවර්ගයට අයත් බව සැලකෙයි.

මැන්ඩෙලාගේ මුත්තා එකී ජනවර්ගයේ රජු හෙවත් නායකයා ලෙස සැලකුණු අතර ඔහුගේ මුල් නම රොලිහ්ලාහ්ලා මැන්ඩෙලාය.

ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අතරින් පළමුවෙන් පාසල් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය මැන්ඩෙලාට හිමිවූ අතර මේ නිසාම නෙල්සන් යන ඉංග්‍රීසි නාමය පාසලේ ගුරුතුමිය විසින් ලබාදී ඇතැයි කියැවෙයි.

ඉගෙනීමේ දක්ෂයෙකු වූ මැන්ඩෙලාට වසර 3ක් පමණ ගතවන ජූනියර් සර්ටිෆිකේට් විභාගය වසර 2න් සම්පූර්ණ කිරීමට හැකි වූ අතර වයස 19දී කලා උපාධිය හැදෑරීමට හෙතෙම ෆෝර්ට් හෙයා සරසවියට ඇතුළත් විය.

ඔහුගේ දිගුකාලීන මිත්‍රයෙකු ලෙස සැලකෙන ඔලිවර් ටැම්බෝ එහිදී මුණ ගැසෙන අතර සරසවියේ පළමු වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ශිෂ්‍ය සංගම් මෙහෙයවීම නිසා මැන්ඩෙලාව සරසවියෙන් නෙරපා හරිනු ලැබිණ.

අනතුරුව කාලයාගේ ඇවෑමෙන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හී පතකලක මුරකරුවෙකු ලෙසද නීති කටයුතු ආයතනයක ලිපිකරුවෙකු ලෙසද රැකියා කරන හෙතෙම 1948දී එරට පැවැති මැතිවරණයෙන් පසු දේශපාලන කටයුතුවලට සම්බන්ධ වේ.

ඉන්දියාවේ මහත්මා ගාන්ධි ගෙනගිය අවිහිංසාවාදී අරගලය මැන්ඩෙලාගේ ජීවිතයටද දැඩි බලපෑමක් විය.

මේ නිසාම අප්‍රිකාව තුළ ඔහු විසින් මෙහෙයවූ බව කියන වැඩ වර්ජන නිසා මැන්ඩෙලා ඇතුළුව 150 දෙනෙකු 1956 වසරේදී අත්අඩංගුවට පත්වන අතර යළි 1961දී ඔහු නිදහස ලබයි.

පසුව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සන්නද්ධ අංශය භාරව කටයුතු කරමින් අප්‍රිකාවේ පැවැති වර්ග වාදී දේශපාලන ප්‍රතිපත්තිවලට එරෙහිව සන්නද්ධ අරගලයක් කිරීමට මැන්ඩෙලා ක්‍රියා කළේය.

දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් ලෙසද සැලකිණ.

කෙසේ වුවද එවකට පැවති දකුණු අප්‍රිකානු රජය විසින් මැන්ඩෙලා මහතා බොහෝ‍සේ විවේචනයට භාජනය කරන ලදී.

යළි 1962 වසරේදී අමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවේද සහයෙන් අත්අඩංගුවට පත්වන හෙතෙම 27 වසරක් හිරබත් කන්නේ එතැන් සිටය.

ඔහු සිර ජීවිතයේ වසර 27න් 18ක්ම රූබන් දූපතේ ගත කර ඇති අතර කළු ජාතිකයෙකු වූ නිසා එහිදී තමාට දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවූ නමුත් අධ්‍යාපන කටයුතු පවා එහිදී උනන්දුවෙන් කළ බව හෙතෙම පවසා ඇත.

මැන්ඩෙලා සිරගත වීම ද ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යාමට ප්‍රබල හේතුවක් වූ අතර කාලයාගේ අවෑමෙන් 1990 පෙබරවාරී 11 වන දින ඔහු සිරගෙදරින් නිදහස ලබයි.

සිරෙන් නිදහස් වන මැන්ඩෙලා සමඟි සන්ධාන‍වීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය.

දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විණ.

ඒ අනූව මැන්ඩෙලා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ එරට ජාතික කොංග්‍රසයේ නායකත්වයට යළි පත්වන අතර 1994 වසරේදී පැවැති මැතිවරණයෙන් ඔහුගේ නායකත්වයෙන් යුත් කොන්ග්‍රසය ලබා ගන්නා 62% ඡන්ද ප්‍රතිශතය නිසා එරට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වීමේ භාග්‍යය හිමි කර ගන්නේය.

ජනපති වන විට 75 වන වියේ පසුවන මැන්ඩෙලා බලලෝභි දේශපාලනයට තිත තබමින් අවංක නායකයෙකු ලෙස තවත් අයෙකුට ඉඩ ප්‍රස්ථාව ලබාදී 1999 වසරේදී සිය ධූරයෙන් විශ්‍රාම ගනී.

ඉන් අනතුරුව ඔහුගේ ජීවිතය ගත වන්නේ මානව හිමිකම් හා විවිධ සාමාජීය කටයුතුවලට වන අතර ඒඩ්ස් මර්දන වැඩපිළිවෙළ එහිදී ඔහුගේ විශේෂ අවධානයට ලක්විය.

දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය.

එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ.

මහත්මා ගාන්ධි මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයක් විය. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි.
 
Top