ජාතිය පුබුදු කළ හෙළ නද - ගංගොඩවිල සෝම හිමි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ගංගොඩවිල සෝම හිමියන්ගේ 10වන ගුණ සැමරුම වෙනුවෙනි

සසුනඹර එකලූකළ පැවිදි මිණිපහනක් බඳු පූජනීය ගංගොඩවිල සෝම නම් දේශයේ සැබෑ මුරදේවතාවුන් වහන්සේගේ හදිසි නික්මයෑම ස්මරණය කිරීම හා උන්වහන්සේ සිංහල ජාතියට හෙළිදරව් කළ පණිවුඩය කුමක්ද යන්න පැහැදිලි කරදීම මෙම ලිපියේ උත්සාහයයි.

”සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි” යන්න තේමාව කරගනිමින් දැවැන්ත මානව හිතවාදී වැඩපිළිවෙලක් දියත් කරමින් සිටි බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක් හදිසියේම ජාතියට අහිමිවී වසර 10ක් සපිරෙන මේ මොහොතේ උන්වහන්සේ රටට කළ අසමාන සේවය පිළිබඳ නැවත මෙනෙහි කිරීම කළගුණ දන්නා මිනිසුන්ගේ ස්වභාවයයි. ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේ යනු

සුවිශේෂී වාග් චාතුර්යයක් ප‍්‍රකට කරමින්, ජන හදවත්වලට ඉතා වේගයෙන් සමීප වී, ඒ සමීපවීමේ භාග්‍යය වැඩිකල් අත්විඳීමට ඉඩ ප‍්‍රස්ථා නොතබමින් හදිසියේම නික්මගිය, මෙම යුගයේ අභීත යතිවරයාණන් වහන්සේ නමකි.

අපේ කාලයේ ශ්‍රේෂ්ඨයාණෝ
බුදු රජාණන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය මැනවින් අවබෝධ කරගෙන එය වත්මන් සමාජයට ගැළපෙන අන්දමින්, කාටත් තේරෙන භාෂාවෙන් දේශනා කිරීම උන්වහන්සේ සතු වූ අසමාන හැකියාව විය. මේ සුවිශේෂී හැකියාව මත උන්වහන්සේ ලබාගත් ජන ප‍්‍රසාදය එම යුගයේ බිහිවූ කිසිදු ජාතික චරිතයකට ලබාගත නොහැකි වූ බව අතිශයෝක්තියක් නොවේ. උන්වහන්සේගේ ශී‍්‍ර දේහයට අවසන් ගෞරව දැක්වීමට දිවා රාතී‍්‍ර නොබලා දිවයිනේ සතර දික්භාගයෙන් ගලා ආ යෝධ ජන ගංගාවෙන් පිරී ඉතිරීගිය බම්බලපිටිය වජිරාරාමයත්, මහරගම වජිරඥාණ ධර්මායතනයත් 2003 දෙසැම්බර් 24 වැනිදා කොළඹ, නිදහස් චතුරස‍්‍ර භූමියේදී පැවති ආදාහන උළෙලට පැමිණි ලක්ෂ 14කට අධික ජනතාවත් ඊට මනා සාක්‍ෂි සපයයි. එවන් වූ ජාතික කම්පණයක් ඇතිකළ වෙනත් සිදුවීමක් මෑත ඉතිහාසයේ අපට දැකගත නොහැකි විය. ජාතියකට, රටකට යා යුතු නිවැරදි මග පෙන්වාදෙමින් සිටි තම අසහාය නායකයාණන් වහන්සේගේ හදිසි වියෝව දරාගත නොහැකි වූ මෙරට ජනතාව කිසිදු ඉල්ලීමකින් තොරව කහ කොඩි, බෞද්ධ කොඩි, සොව පලකරන බැනර්, ගුණ ගායනා ඇතුළුව අසීමිත ගරුසරු දැක්වීම් වලින් නොකියා කියාපෑවේ මෑත කාලයේ පහළවූ ජාතියේ පියාණන් උන්වහන්සේ බවයි.


පහතින් දැක්වෙන ජේද කිහිපයෙන් කියැවෙන්නේ සෝම හිමිපාණන් වහන්සේ විසින් සිංහල ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් අභිවෘද්ධිය උදෙසා නැගූ සිංහනාදය තුළ ගැබ්ව තිබුණු, එහෙත් මෙතෙක් ප්‍රසිද්ධියේ මාධ්‍යවල පළ නොවුණු ඓතිහාසික සත්‍ය කියාපාන තොරතුරු එකතුවකි.

සිංහල මුල් පුරුක ප‍්‍රාග් ඓතිහාසික මිනිසුන්ය
වසර දහස් ගණනක පුරාතන යුගයට අප දිවගියොත් අපට හමුවන්නේ අපේ රටේ ආදිම මුතුන් මිත්තන්ය. මිනිහා ගල්කන්ද, බලංගොඩ, පාහියන්ගල ආදී නොයෙකුත් ප‍්‍රදේශවල ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මිනිසුන් හෙළ බිමේ ඓතිහාසික සිංහලයන්ගේ මුල් පුරුක් වන්නේය. සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් පවිත‍්‍රවුණු හෙළදිව විසූ අපේ මුතුන් මිත්තන්ට නිවැරදි දර්ශනයක්, ජීවන ගමන ගෙන යා යුතු නිවැරදි මාවතක් බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වාදෙන ලදී.

සිංහලයන් වඳ කිරීමේ උපක‍්‍රම
වසර දහස් ගණනක් පැවත ආ අපේ වටිනා සදාචාරය, සංස්කෘතිය විනාශ මුඛයට පත්වූයේ කි‍්‍ර.ව. 1505 පෘතුගීසි ආක‍්‍රමණයත් සමගය. එතැන් පටන් බෞද්ධ සදාචාරයෙන් පෝෂණයවී තිබුණු හෙළදිව විනාශ කරන්නට ආක‍්‍රමණිකයෝ කටයුතු කළහ. දුරාචාර වලින් තොර වී සිටි සිංහලයාව දුරාචාරයට පුරුදු කරන්නට විය. බේබදුකම ප‍්‍රතික්‍ෂේප කර සිටි සිංහලයා බේබදුකමට ඇද දමන ලද්දේ මෙරට ආක‍්‍රමණය කළ මිෂනාරීන් විසිනි.


මෙවන් වූ කූට උපක‍්‍රම මගින් ඓතිහාසික සිංහල ජාතිය වඳ කිරීමේ සූක්‍ෂම කුමන්ත‍්‍රණ එතැන් පටන් මිෂනාරීන් දියත් කර තිබිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ හෙළබිම බෞද්ධකම සූක්‍ෂම අන්දමින් බිඳදමා වෙනත් රාජ්‍යයක් මෙහි ස්ථාපිත කර ව්‍යාපාර ගෙනයාමටය. මෙම කුමන්ත‍්‍රණ මේ දක්වාම කි‍්‍රයාත්මකව පවතින අතර, අප සමාජයට යටින් දිවෙන මෙම කතාන්දරය බහුතර ශී‍්‍ර ලාංකිකයන් දන්නවාදැයි පැණයකි. සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් එල්ලවී තිබෙන මේ ගුප්ත තර්ජනය හමුවේ සිංහල ජාතිය බොහෝ අවස්ථාවල නිද්‍රාශීලීව සිටිනවා යැයි එදා ගරුතර සෝම හිමියෝ දේශනා කළහ. ‘‘පිරිසිදු බුදු දහම නොනැසී පවතින දහම් දිවයින ලෙසින් ප‍්‍රකට වූ මේ දෙරණ ආරක්‍ෂා කරගත හොත් පිරිසිදු බුදු දහමද සුරැකෙනු ඇත. එයින් කියැවෙන්නේ බුදු දහම සුරක්‍ෂිත කිරීමට නම් හෙළබිම සුරක්‍ෂිත කළයුතු බවයි. සිංහල ජාතිය සුරක්‍ෂිත කළයුතු බවයි. මේ කාරණාව තේරුම් ගැනීමට සිංහලයන්ට හැකිවිය යුතුය.’’ මේ අයුරින් උන්වහන්සේ එක්තරා පුවත් පතකට ප‍්‍රකාශ කර තිබිණි. තුන්කල් දක්නා නුවණින් හෙබි සෝම හිමියන් විසින් මේ ජාතික අනතුර පිළිබඳව සමාජයට තොරතුරු අනාවරණය කළත් එය සමාජය තේරුම් ගත්තාද යන්න පැණයකි.

අපේ රටේ නම ”සිංහලේ”
හෙළබිම ආක‍්‍රමණය කළ විදේශිකයන් අප රට හැඳින්වූයේ ”සිලෝන්” (Ceylon) යන නමිනි. එහි තේරුම වන්නේ ”සිංහලේ” යන්නයි. එනම් විදේශිකයන් පවා අප රට ”සිංහල රට” බවට පිළිගෙන තිබිණ. එහෙත් 1948 නාමික නිදහසෙන් පසු කාලයේදී, ”සිංහලේ” බවට මෙරට පත්කළේ නම් එය අපට මෙන්ම මුලූ ලෝකයටද මෙය සිංහල දේශය බවට පැහැදිලිව තේරුම් ගන්නට තිබිණ. ජපානය ජපන් ජාතියේ රට, මැලේසියාව මැලේ ජාතියේ රට, ජර්මනිය ජර්මන් ජාතියේ රට, චීනය චීන ජාතියේ රට, ප‍්‍රංශය ප‍්‍රංශ ජාතියේ රට වූ විලසින්ම සිංහලේ සිංහල ජාතියේ රට විය යුතුය. යන්න ගරුතර සෝම හිමියන් දෙදහසේ මුලදී කුරුණෑගල ධර්ම දේශනාවකදී පවසා තිබිණි. වීර උදාර සෝම හිමිපාණන් වහන්සේ ජාතියට අවබෝධ කරදීමට උත්සාහ ගත්තේ මේ සත්‍යයයි. එහෙත් අදටත් සිංහල ජාතියට මුල මතක ඇත්දැයි පැණයකි. “ප්‍රෞඪ අතීතයක් මෙන්ම අවදානම් අනාගතයක් තිබෙනවා යැයි සෝම හිමියෝ එදා පැවසූහ. තම උතුම්ම වස්තුව වන දරු පරපුරට සදාචාරවත් සුරක්‍ෂිත රටක් දායාද කළයුතුය. එදා වේල කා බී පී‍්‍රති වී සිටියොත් ප‍්‍රමාණවත්ද?. විදෙස් ආක‍්‍රමණික බිම්හොරු සිංහල මොළ වලට ඇතුළත් කර ඇත්තේ ඒ උපක‍්‍රමික අදහස්ය. මේවා ඔවුන් විසින් ඉතා දරුණු ලෙස සිංහලයන්ගේ මොළ හෝදා ඇති අන්දම කියාපාන කදිම නිදසුන්ය.“ මෙවැනි දැඩි වදන් සෝම හිමියෝ නිර්භයව ප‍්‍රකාශ කළහ.

බුදුදහමේ ආරක්‍ෂකයෝ සිංහලයෝය
’’දිවයිනේ සතර දික්භාගයේම ගලින්, රනින්, යකඩින්, ලීයෙන් ගොඩනගා තිබෙන ඓතිහාසික නටඹුන් වලින් පිළිබිඹු වන පරිදි හෙළබිම යනු ලොව ඓතිහාසික ස්ථානයකි. සිංහල ජාතියද එසේමය. සිංහල භාෂාව පිටසක්වලට සම්බන්ධ භාෂාවක් බවත්, එනිසාම විශ්වයෙන් ඈතට ඇදීයන අභ්‍යවකාශ යානයක අඩංගු භාෂා අතරින් සිංහල භාෂාවට සුවිශේෂ තැනක් හිමිකර දී ඇති බවද සිංහලයන් දැනගත යුතුය. බුදු දහමේ රඳා පැවැත්ම ඇත්තේ සිංහල ජාතිය මතය. එහෙයින් සිංහල ජාතිය සුරක්‍ෂිත කළ යුතුය. නැතහොත් තව වසර 50 ගතවන විට හෙළබිම තුළ සිංහල ජාතිය සුලූ ජාතියක් බවට පත්වීමේ මහත් භයානක අවදානමකට අපට ලක්වීමට සිදුවනු ඒකාන්තය.’’ මේ සෝම හිමිපාණන් සිය ජාතිය පුබුදුකළ අයුරුය.


සිංහලයන් නම් ඉතා සහනශීලී ජනතාව ගොඩනැගුනේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ සදාචාරයක්, සංස්කෘතියක් මුල්කර ගනිමිනි. ගරුතර සෝම හිමිපාණන් වහන්සේගේ දර්ශනය වූයේ ”සදාචාරය ජාතියක සෞභාග්‍ය උදාකරයි” යන්නය. ගැඹුරින් මේ වැකිය පිළිබඳව සිතා බැලූවහොත් මෙහි ගැබ්ව ඇති දැවැන්ත තේරුම කුමක්දැයි ඔබට වැටහෙනු ඇත. සදාචාරය යනු මිනිසාගේ පරම ගතිගුණය විය යුතුය. සදාචාරයක් නැති තැනැත්තා කිනම් පුද්ගලයෙකු බඳුදැයි බුද්ධිමත් ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ නම් සදාචාරවත් සමාජයක් ගොඩනැගීම හරහා රටක සංවර්ධනයද දැකිය හැකිය. ලොව සෑම මනුෂ්‍යයෙකුම පතන්නේ එවැනි සහනශීලී සමාජයකි. රටක ආර්ථික සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයද එක ලෙසම සිදුවිය යුතුය. එවන් මානව හිතවාදී, සදාචාර සම්පන්න සමාජයක් බිහිවනු දැකීම ගරුතර සෝම හිමියන්ගේ ද අරමුණ විය.

රූපවාහිනී ධර්මදේශනා කලාව
සෝම හිමිපාණන් වහන්සේ සිංහල භික්‍ෂු වංශයටම ආදර්ශමත් වූ භික්‍ෂු ජීවිතයක් ගතකළ උදාර හිමිනමකි. විවිධ වූ සමාජයීය ප‍්‍රශ්න හමුවේ මංමුලාවූ මහ පිරිස් දිනපතා උන්වහන්සේ බැහැදැක ප‍්‍රශ්න නිරාකරණය කරගන්නට යෑම එකල ධර්මායතනයේ සුලබ දසුනක් විය. ඒ වෙනුවෙන් උන්වහන්සේට පිළිගන්වන පිරිකර සියල්ලද එකතුකර දුෂ්කර පළාත්වල පිහිටි පන්සල් වලට සහ දුප්පත් පවුල් වලට ලබාදීමේ පරිත්‍යාගශීලී වැඩපිළිවෙලක්ද උන්වහන්සේ දියත් කර තිබිණි. රූපවාහිනී නාලිකා තුළ ධර්මදේශනා නොපැවැත්වුණු කාලයක, ධර්ම දේශනා රූපවාහිනිය හරහා ඉදිරිපත් කිරීමේ අලූත්ම කලාව හඳුන්වා දුන්නේද ගෞරවනීය ගංගොඩවිල සෝම හාමුදුරුවෝය යන්න පැවසීම වරදක් නොවේ. වර්තමානයේ රූපවාහිනිය තුළින් ධර්ම දේශනා ඉදිරිපත් කරන සෑම ස්වාමින් වහන්සේ නමක්ම මේ බව සිහිපත් කිරීම උන්වහන්සේට කරන කෘතගුණ දැක්වීමක් වනුඇත.

අබිරහස් රුසියානු සංචාරය
සෝම හිමියන්ගේ රුසියානු සංචාරය පිළිබඳ බොහෝ වාද විවාද පවතී. අප දන්නා පරිදි උන්වහන්සේ රුසියාවට වැඩමකළේ ”බුද්ධස්තූප” ග‍්‍රන්ථය වෙනුවෙන් රුසියානු විශ්ව විද්‍යාලයකින් ලබාදෙනවා යැයි කියූ ආචාර්ය උපාධියක් ලබාගැනීම පිණිසය. සෝම හිමියන්ගේ සමාජ මෙහෙවර නොරිස්සූ ඇතැමුන්ගේ කි‍්‍රයාකලාපයන් නිසා, ඔවුන්ගෙන් ටික කලකට හෝ දුරස් වී සිටීමට මෙය හොඳ අවස්ථාවක් යැයිද සෝම හිමියන් සිතූ බව එකල පුවත්පතක පලවී තිබිණි. මේ (මරණීය) ගමනට උන්වහන්සේගේ සිත යොමුවූයේ ජාතියේ අවාසනාවටය.


දින දහයක සංචාරයක් සඳහා ලංකාවෙන් පිටත්වූ උන්වහන්සේට ගුවන් යානයේදී ද කිසියම් අසනීප තත්වයකට මුහුණපෑමට සිදුවිය. මෙම අසනීප තත්වයට කිසිදු ප‍්‍රතිකාරයක් නොකරම රුසියානු ගුවන් තොටුපලේ සිට ඉතා වෙහෙසකාරී දීර්ඝ ගමනක් උන්වහන්සේව රැගෙන ගොස් තිබිණි. එතැන් පටන් සෝම හිමියන් පිළිබඳව අපට දැනගන්නට ඇති තොරතුරු ඉතා අල්පය.

වේදනාකාරී අවසන් මොහොත
සෝම හිමියන් සිය ජීවිතයේ අත්දකින්නට ඇතැයි සිතිය හැකි අතිශය කටුක අත්දැකීම් මෙම සංචාරයේදී මුහුණ දෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් එපිටින් පිහිටි නොදන්නා රටක, තමාගේම කියා විශ්වාසවන්ත කෙනෙකු නොමැතිව, දැඩි සීතල පරිසරයක, බරපතල ලෙස රෝගාතුරව, මූලික වෛද්‍ය ප‍්‍රතිකාරයක් නොමැතිව දේශයේ මුරදේවතාවුන් වහන්සේට දෙමසකට අධික කාලයක් එරට ගතකරන්නට සිදුවිය. අවසානයේ කිසිවෙකුත් නොසිතූ මොහොතක, දේශය සසල කරමින් හදිසි අපවත්වීමකට උන්වහන්සේ ලක්විය. ව්‍යාජ ඡායාරූප පෙළක්ද ඒ සමගම කරළියට පැමිණ තිබිණි.
පසුව හෙළිවූ කරුණු අනුව සෝම හිමියන්ගේ අපවත්වීම කිසියම් කුමන්ත‍්‍රණයක් බවට සැක මතුවිය. මෙම තොරතුරු බොහොමයක් හෙළිදරව් වූයේ සෝම හිමියන්ගේ අබිරහස් අපවත්වීම පිළිබඳව සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙනි.

වත්මන් බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා
කෙසේ වෙතත්, උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇතිවූ කම්පණය තුළින් නිදා සිටි සිංහලයා තරමක් දුරට හෝ අවදි වූ බව රහසක් නොවේ. ඒ හරහා යෝධ බෞද්ධ පුනර්ජීවයක් සිරිලක පුරා ඇතිවිය. ගරුතර සෝම හිමිපාණන් වහන්සේගේ අපවත්වීම හරහා ඇතිවුණු මහා බෞද්ධ පුනරුදය ඔස්සේ භික්‍ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුව දක්වා වැඩම කිරීමද සිදුවුණි. ”බෞද්ධකම” යන්න සමාජ ප‍්‍රසාදය හිමිවන සලකුණක් බවට වර්තමානයේ පත්ව තිබෙන බවද පෙනෙන්නට තිබේ. සෝම හිමියන් පෙන්වාදුන් දුම්වැටි හා මත්ද්‍රව්‍ය නැවැත්වීමේ අවශ්‍යතාව, අද වනවිට දුම්වැටි හා මත්ද්‍රව්‍ය ප‍්‍රචාරණය නීතියෙන් තහනම් කිරීම දක්වා පැමිණ තිබීම, උන්වහන්සේගේ දැක්ම කි‍්‍රයාවට නැගී තිබුණු අවස්ථාවකි.


රටට අසමාන සේවාවක් කරමින් සිටියදී හදිසියේ නික්මගිය සදා වන්දනීය ගංගොඩවිල සෝම නම් මහා යුගපුරුෂයාණන් වහන්සේ අපට අමතක කළ නොහැක. උන්වහන්සේ එතරම්ම අපේ ජීවිත වලට සමීපව ධර්මය කියාදුන්හ. මේ වනවිට අන්තර්ජාලය තුළද උන්වහන්සේ පිළිබඳ ඉමහත් ප‍්‍රචාරයක් ලැබෙමින් පවතී. උන්වහන්සේගේ නික්මයෑමෙන් පසු ඇතිවූ බොදු පිබිදීම මෑත කාලයේ සිදුවූ වෙනත් කිසිදු ජාතික පිබිදීමකට සමකළ නොහැකිය. පසුකාලීනව යුද ජයග‍්‍රහණයට අඩිතාලම වැටුණේද මේ ජාතික පිබිදීම නිසා බව පැවසීම මුසාවක් නොවනු ඇත.


සෝම හිමියන් වත්මන් බුද්ධිමත් යොවුන් පරපුරේ වීරවරයන් වහන්සේ බවට පත්වී හමාරය. අනාගතයේදී ඔවුන් විසින් උන්වහන්සේව තවදුරටත් අභිෂේක කරනු ඇත.

සටහන - චාරුක කුමාරපේලි
 
Top