රෑට රෑට පෙම්වතිය හමුවීමට ගිහින් මැරුම් කෑ තරුණයා | Gossip lanka news Sinhala News Sinhala Cinema News


ආදරය සුන්දර වරදක්‌ යෑයි ගැයුනත් එම වරද කිරීමට ලාබාල රිෆාඩ්ගේ සිත බල කළේ තම පාසලේ යුවතියක වූ ඇගේ මුල් දැකීමත් සමගය. එනිසාම පාසලට හොරා, නිවෙස්‌වලට හොරා ඔවුන් ඒ සුන්දර වරද වූ ආදරයෙහි බැඳුනි. එසේ වුවද මේ ආදරය තමාගේ තරුණ ජීවිතය ලාබාල වියේදීම උදුරාගනීවි යෑයි රිෆාඩ් තුන් සිතකින්වත් නොසිතුවේය. කෙසේ වෙතත් ඔහු කුඩා කල සිට අකුරු කළ තම පාසලේම ටකරන් මඩුවක තම සිරුර එල්ලනු ඇතැයි ඔහු නොසිතුවත් පසුගිය අගෝස්‌තු 24 දින අලුයම මඩිගෙවිදියාල ප්‍රදේශවාසීන්ට දැකගැනීමට හැකි වූයේ ද එම අසුන්දර දසුනයි.

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණපෑවේ බණ්‌ඩාරකොස්‌වත්ත මඩිගෙවිදියාලේ වයි. එම්. මොහොමඩ් රිෆාඩ් නමැති 18 හැවිරිදි තරුණයායි.

සහෝදර - සහෝදරියන් 6 දෙනකුගෙන් යුත් පවුලක බඩපිස්‌සා වූයේ රිෆාඩ්ය. පාසල් ගමන නවතා සිටි ඔහු සහෝදරයන් සමග කිසියම් ව්‍යාපාරයකට අත ගැසීමට සූදානම් වෙමින් සිටියේය. පසුගිය අගෝස්‌තු මාසය වයඹ ඡන්දය නිසා මේ ප්‍රදේශය ද උණුසුම් වී තිබිණි. මේ නිසාම අගෝස්‌තු 23 සවස විදියාල මංසන්ධියේ පැවැත්වෙන රැස්‌වීමක්‌ බැලීමට යන බව පවසමින් ඔහු නිවසින් පිටවිය. එදින මැදියම් රැය වනතුරු ද ඔහු නිවසට නොපැමිණි නිසා රිෆාඩ්ගේ පියා වූ යුසුප් (60) මහතා තම දරුවන්ට හා ඥතීන්ට මේ බැව් දැන්වීය. ඒ අනුව පාන්දරම රිෆාඩ් සොයා ගිය එක්‌ පිරිසකට දක්‌නට ලැබුණේ මඩිගෙවිදියාල මුස්‌ලිම් විද්‍යාලේ තහඩු මඩුවක යටලීයේ එල්ලෙමින් තිබූ රිෆාඩ්ගේ නිසල සිරුරයි.

වාරියපොල පොලිසියට, මරණ පරීක්‍ෂකවරයාට දැන්වීය. සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයට කුරුණෑගල රෝහලට ගෙන ගියේය. අවසානයේදී මෙය සියදිවි නසාගැනීමක්‌ බවට තීරණය කෙරිණි. චාරිත්‍රානුකූලව එදිනම රිෆාඩ්ගේ සිරුර මඩිගෙවිදියාල මුස්‌ලිම් සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබීය.

රිෆාඩ්ගේ සිරුර පස්‌වලට යටකළත් මේ මියගිය සිද්ධිය පස්‌වලින් යටකර දැමීමට නොහැකි විය. පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී රිෆාඩ්ගේ පිට පෙදෙසෙහි විශාල තැළුම් පාරක්‌ දක්‌නට ලැබීමත් ඔහු සතුව ඒ වන විට තිබූ ජංගම දුරකථන දෙක ඔහු ළඟ නොතිබීමත් ඔහුගේ ගෙලට දමා තිබූ තොණ්‌ඩුව පිළිබඳ සැකයත් නිසාම රිෆාඩ්ගේ ඥතීන් බලධාරීන්ට කරුණු දැක්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් මාස 3 කටත් අධික කාලයක්‌ පස්‌වලින් යටවී තිබූ රිෆාඩ්ගේ සිරුරත් සමග මිනීමැරුමක සුලමුල ද නැවත මතු විය.

මේ පිළිබඳ පරීක්‍ෂණ කිරීම සඳහා කුලියාපිටිය කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි පියසිරි ප්‍රනාන්දු මහතාට පැවරුණි. ඒ අනුව බිංගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. එච්. එම්. පී. හේරත් මහතා ප්‍රමුඛ නිලධාරීන්ට මෙය දිවි නසාගැනීමක්‌ නොව පහරදී සිහිනැතිවූ පසු එල්ලා දැමීම නිසා සිදුකළ මිනීමැරුමක්‌ බවට කරුණු අනාවරණය විය.

පසුගිය 23 වැනිදා සවස පිටත්වූ රිෆාඩ්ට රාත්‍රි සිය පෙම්වතියගෙන් දුරකථන ඇමතුමක්‌ ලැබී ඇත. ඒ අනුව රාත්‍රි 10.00 ට පමණ ඇගේ නිවසේ ජනේලය අසලට ගොස්‌ ඇය සමග පෙම් පිළිසඳරක යෙදෙමින් සිටියදී පිටුපසින් පැමිණි පෙම්වතියගේ පියා හා සොහොයුරකු ඔහුට පහරදී සිහිසුන් වූ පසු නිවසට පැමිණි තවත් හවුල්කරුවකුත් සමග සිහිසුන් වූ රිෆාඩ්ගේ සිරුර යතුරුපැදියක තබාගෙන ගොස්‌ මැදියම් රැයේ පාසල් ගොඩනැගිල්ලේ බාල්කයේ එල්ලා පලාගොස්‌ ඇතැයි අනාවරණය වී ඇත.

නිලධාරීන්ගේ තීක්‍ෂණ බුද්ධිය නිසාම, කාලයත් සමග වැලලී යැමට ඉඩ තිබූ අසුන්දර අකාරුණික හා කෲර මරණයක වගතුග ලෝකයාටම හෙළිදරව් කරගැනීමට හැකි විය.

මේ අනුව වාරියපොල මහෙස්‌ත්‍රාත් හා දිසාවිනිසුරු ඒ. එස්‌. කේ. බාලපටබැඳි මහතා ඉදිරියේ මඩිගෙවිදියාල මුස්‌ලිම් සුසාන භූමියේ මිහිදන් කර තිබූ මොහොමඩ් රිෆාඩ්ගේ සිරුර නැවත ගොඩගනු ලැබීය.

ගොඩගන්නා ලද සිරුරේ කොටස්‌ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යොමුකර ඇත. 


සටහන ඡායාරූප - බිංගිරිය - සෝමසිරි ඒකනායක
 
Top