තිස්ස අබේසේකරගේ නැන්දම්මා මරා දමා ඇත්තේ නිවසේ සේවය කළ හිටපු පොලිස් නිලධාරියෙක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තිස්ස අබේසේකරගේ නැන්දම්මා
මරා දමා ඇත්තේ

නිවසේ සේවය කළ
හිටපු පොලිස් නිලධාරියෙක්


ප්‍රවීණ සිනමාකරු අභාවප්‍රාප්ත තිස්ස අබේසේකර මහතාගේ බිරියගේ මව ඊඩා මාගරට් ප්‍රනාන්දු රාජගිරිය ප්‍රදේශයේ නිවසේ කාමරයක් තුළ අභිරහස් අන්දමින් ඝාතනය කර තිබියදී පසුගිය සැප්තැම්බර් 29 දින සොයාගත් අතර මේ වනවිට එම ඝාතනය සිදු කළ අය පොලිසිය අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඔවුන් ඇයව මරා දැමූ බව පිළිගෙන ඇති අතර නිවසේ වටිනා දේ සොරකම් කිරීමේ අරමුණින් මෙය සිදු කර තිබෙන්නේ නිවසේම කලකට පෙර සේවය කළ පුද්ගලයෙකු තවත් කෙනෙකු සමග පැමිණය.
සිද්ධිය සිදුවන විට 84 හැවිරිදි ඊඩා මාගරට් ප්‍රනාන්දු නමැති ඇය සිටියේ නිවසේ තනිවමය. ඇගේ නිවසේ දුරකථනයට ප්‍රතිචාරයක් නැති නිසා දියණිය පැමිණ බලන විට නිවසේ කාමරයක ඇඳ මත ඊඩා මහත්මිය ඝාතනය කර තිබියදී හමුවුණා.

ඝාතනයට ලක්වූ ඊඩා මහත්මියගේ ශරීරයේ තුවාල සලකුණු කිසිවක් දක්නට නොමැති වූ අතර ඇයගේ අතක ඇඟිලිවල දමා තිබූ රන්මුදු දෙක ගලවාගෙන ගොස් තිබුණා.
රාජගිරිය, මොරගස්මුල්ල, පස්වැනි පටුමගේ ඉහළ පැළැන්තියේ නිවාස ගණනාවකට යාබදව පිහිටි නිවසේ කාමරයක් තුළ ඇය අභිරහස් අන්දමින් ඝාතනය කර තිබූ අතර පොලිසිය අවට නිවාසවල සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සිද්ධියට සම්බන්ධ වැදගත් සාක්ෂි රැසක් සොයාගත්තා.

එම නිවසට පුද්ගලයන් දෙදෙනකු ඇතුල් වී ඇති බව ආරක්ෂිත කැමරා වල පටිගත වී තිබුණා. ඔවුන් සිද්ධියට පෙර දින රාත්‍රී 8.00 ට පමණ ඊඩා මහත්මියගේ නිවසේ ඉදිරිපිට තාප්පයෙන් එම වත්තට පනින දර්ශනත්, නැවත එම දෙදෙනා රාත්‍රී 11.00 ට එම නිවසේ ගේට්ටුව ඇර එළියට පැමිණෙන දර්ශනත් එම ආරක්ෂිත කැමරාවල සටහන්වී තිබුණා.කෙසේ වෙතත් ඝාතකයන් නිවසට ජනෙල් ඇර හෝ වහළයෙන් බැස ඇතුළු වූයේද යන්න සලකුණු කිසිවක් පෙනෙන්නට තිබුනේද නැත. ඒ නිසා නිවසේ දොර හැර තිබූ අවස්ථාවක ඝාතකයන් නිවසට ඇතුල් වන්නට ඇතැයි පොලිසිය සැක කරා.

මෙම සීසීටීවී දර්ශන එම නිවසේ වාසය කළ ඊඩා මහත්මියගේ දියණියට පොලිසිය පෙන්වූ අවස්ථාවේ වීඩියෝවේ සිටින එක් අයකු ඇය විසින් හඳුනාගත් අතර ඔහු නිවසේ සේවය කළ අයකු බවට (ප්‍රධාන සැකකරු) හඳුනා ගත්තා.
ඒ අනුව ඔවුන් අල්ලන්නට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කළා. පසුව මෙම ප්‍රධාන සැකකරු හා අනෙක් සැකකරු පෝද්දල ප්‍රදේශයේදී කොටුකරගෙන තිබුනා.
ප්‍රධාන සැකකරු හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු වූ අතර අනෙකා හමුදාවෙන් පළාගිය කොමාන්ඩෝ භටයෙකි.

එදා නිවසට ඔවුන් ගියේ නිවස කොල්ලකෑමේ අරමුණින් බවත් නිවසේ සේවය කළ තමා සියලූ දේවල් ඇති ස්ථාන ගැන හොඳ වැටහීමක් ඇති අයෙකුව සිටි බවත් කොල්ලකරු කියා සිටියා. ඔහු මිතුරෙකු සමග ළ`ගට ආවා යයි කියමින් ඊඩා මහත්මිය සිටින අවස්ථාවේ නිවසට ගොඩවැදුණ බවත් ඇය තමා හොඳින් අඳුනාගෙන කථාබහට ආ බවත් ඔහු කියා සිටියා. තමා සොරකම සිදු කරන්නට උත්සාහ කරද්දී ඇයට හසුවූ අවස්ථාවේ ඇය තමා හඳුනාගත් බැවින් පසුව පොලිසියට කියාවි යන බිය ඇතිවූ නිසා මරා දමන්නට තීරණය කළ බවත් වයෝවෘද්ධ කාන්තාවගේ ගෙල අතින් සිරකර මැරූ බවත් ප්‍රධාන සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබුණා.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පොලිස් කොස්තාපල්වරයා වසර හතරක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ සේවය කරමින් සිටියදී සේවයෙන් පහකළ අයකු බව පොලිසිය කියයි. මොහු පෝද්දල පදිංචි
විවාහක 26 හැවිරිදි එක්දරු පියෙක් වන අතර අවිවාහක පුද්ගලයකු ලෙස පොලිසියට ලියකියවිලි ඉදිරිපත් කර සේවයේ යෙදී සිටියදී මොහු විවාහක පුද්ගලයකු බවට හෙළිවීමත් සමග සේවයෙන් පහ කළ අයෙකු බව තහවුරු වී තිබුණා. මොහු පොලිස් සේවයෙන් පහ කළ පසු මෙම නිවසේ වැඩට පැමිණ ඇත්තේ 2011 ජනවාරි මාසයේදීය.
අනෙක් සැකකරු යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සිටියදී පළා ආ 27 හැවිරිදි අවිවාහක සෙබළෙකි.

මියගිය ඊඩා මාගරට් ප්‍රනාන්දු (84) විශ්‍රාමික හෙදියක වන අතර දරුවන් නවදෙනකුගේ මාතාවකි. මැය තිස්ස අබේසේකර මහතාගේ බිරිඳ වූ අසංකා මොණරවිල අබේසේකර මහත්මියගේ මෑණියන්ය. ඒ මහත්මියගේ දරුවන් සිව්දෙනකු ඔස්ටේ්‍රලියාවේත් තවත් දරුවන් සිව්දෙනකු ශ්‍රී ලංකාවේත් පදිංචිව සිටිනවා.

ඊඩා මහත්මිය සිය සැමියා වන ක්ලැරන්සි පර්සි ප්‍රනාන්දු (86) හා දියණියක සමග ඝාතනය සිදුවූ රාජගිරිය නිවසේ පදිංචිව සිටි නමුත් සිද්ධියට පෙර දිනයේ සැමියා හා දියණිය අවශ්‍යතාවකට වත්තල මාබෝලේ දියණියකගේ නිවසට ගොස් තිබීම නිසා ඊඩා මහත්මියට එදා නිවසේ තනිව සිටින්නට සිදුවුණා.
නිවසේ තනිවූ මවට දුරකතනයෙන් ඇමතුම් ලබාගනිද්දී ඇය උත්තර නොදීම නිසා දියනිය කලබලවී 29 වැනිදා උදේ 8 ට පමණ නැවත නිවසට පැමිණි අවස්ථාවේදී එම මහත්මිය ඇඳක් මත මරා දමා සිටි අයුරු දැකගත්තා.
අසල්වාසී නිවසේ සිසීටීවී පද්ධතිය නිසා මිනීමරුවන් කොටු කරගන්නට පොලිසියට හැකිවුණා.
මිනීමැරුමේ සැකකරුවන් පිළිබඳ ඉදිරි අධිකරණ කටයුතු ක්‍රියාත්මකය.

 
Top