කොළඹ ප්‍රධාන පෙළේ පාසලක එකම පංතියේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යැමෙන් පසු එක් ශිෂ්‍යයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් අනෙක් ශිෂ්‍යයා මරුමුවට පත්වී ඇත.
මෙම සිද්ධිය වී ඇත්තේ පෙරේදා (06 වැනිදා) පෙරවරුවේදීය. මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සූදානමින් සිටි 16 හැවිරිදි චලක ධනුෂ්ක නමැති ශිෂ්‍යයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අතුරුගිරිය පොලිසිය ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙසක් උත්සවය සඳහා පැවැත්වීමට සූදානම් කර තිබූ දන්සලක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී මෙම ශිෂ්‍යයන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීම දුරදිග යැමෙන් පසු පිහි ඇනුම සිදුවී ඇති බව පොලිසිය පවසයි.
මීට වසරකට පමණ පෙර සංගීත සංදර්ශනයක් පැවති අවස්ථාවේද මෙම ශිෂ්‍යයන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී තිබිණි. එම ආරවුල මත මොවුන් දෙදෙනා දැඩි ලෙස විරසකව සිට ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
එළඹෙන වෙසක් උත්සවය සඳහා අතුරුගිරිය ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දන්සලක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ නිවසක පෙරේදා පෙරවරු 10.00 ට පමණ සාකච්ඡාවක් පැවතිණි.
එම සාකච්ඡාව සඳහා මෙම ශිෂ්‍යයන් දෙදෙනාම පැමිණ සිට ඇත. එහිදී නැවතත් මොවුන් දෙදෙනා අතර ආරවුලක් හටගත් අතර එක් ශිෂ්‍යයකු අනෙකාට පහර දී තිබේ.
පහරකෑමට ලක් වූ ශිෂ්‍යයා එම නිවසේ තිබූ පිහියකින් අනෙක් ශිෂ්‍යයාට ඇන ඇත්තේ ඒ අවස්ථාවේදීය.
පිහි ඇනුම් කා තුවාල ලැබූ ශිෂ්‍යයා හෝමාගම රෝහලට මුලින්ම ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ හෙයින් හෝමාගම රෝහල එම ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට කටයුතු කර තිබේ.
එම ශිෂ්‍යයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07 වැනිදා) පෙරවරුවේ මියගොස් ඇත.
Home
»
»Unlabelled
» එකම පංතියේ දෙදෙනා ගැටී පිහි ඇනුම් කා ශිෂ්‍යයා මරු දකී