ඉනාමලුව යොවුන් කඳවුරේ තරුණයෙක් විදුලිසැර වැදී මියයයි
යෞවන කටයුතු අමාත්යංශය යටතේ ක්රියාත්මක වන දඹුල්ල,ඉනාමළුව යොවුන් සේනාංක නේවාසික පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි 19 හැවිරිදි තරුණයෙක් අද (24) උදේ 10 ට පමණ විදුලිසැර වැදීමකින් මිය ගියේය. මෙම තරුණයා ඇතුළු තවත් තරුණයන් පිරිසක් කඳවුර බිමේ පිහිටි උණ පඳුරක් ගලවා ඉවත් කිරීමේ යෙදී ඇත. එම අවස්ථාවේදී එක් උණ ගසක් ඉහලින් ඇද තිබූ විදුලි රැහැනක් මතට ඇල වී තිබේ. එය යළි පිටතට අදින්නට මෙම තරුණය සූදානම් වූ අවස්ථාවේ විදුලිසැර වැදී තිබේ. රෝගියා වහාම දඹුල්ල රෝහලට ගෙන ගියද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත් වී සිටි බව රෝහල් තොරතුරු අනාවරණය කරයි. මෙසේ මිය ගියේ ගලේවෙල,බඹරගස්වැව පදිංචි පී.කේ.ජී. බණ්ඩාර නැමැති තරුණයයි. සිද්ධිය පිළිබඳ දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.