‘මෙරෝපෙනම්’ එන්නත් දියරය මුළු රටේම තහනම්
ඉන්දියාවේ ‘පෙනොමර් නියෝන්’ නැමැති රසායනාගාර සමාගමක් විසින් නිපදවා මෙරටට ආනයනය කිරීමෙන් පසු දිවයිනේ රෝහල්වලට බෙදා හරින ‘මෙරෝපෙනම්’නැමැති එන්නත් දියරය අඩංගු මිලි ලීටර් 500කුප්පි, භාවිතයට ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (24) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. මාරවිල මූලික රෝහලේ වීදුරු කැබැල්ලක් යැයි සැක කරන ආගන්තුක ද්‍රව්‍යයක් සහිත ‘මෙරෝපෙනම්’ දියරය අඩංගු කුප්පියක් හමුවීම හේතුවෙන් අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ. එමෙන්ම මෙම එන්නත් දියරය අඩංගු කුප්පි දිවයින පුරා පිහිට ඔසුසැල්වලින් අලෙවි කිරීම වහාම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරන ලෙසද සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට සහ විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාට උපදෙස් දී තිබේ. මෙය නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන බැවින් ඒ සම්බන්ධයෙන් ඉන්දියානු රජයට, එහි සෞඛ්‍ය ඇමැතිවරයාට සහ ඉන්දියානු ඖෂධ බලධාරින්ට ලිඛිතව පැමිණිලි කරන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දී තිබේ.