ළාබාල තරුණියන් සමග හෝටල්වල ගතකර එන වැඩිහිටි සල්ලාලයන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්. A gang made tribute to gallant adults staying in hotels | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ළාබාල තරුණියන් සමග හෝටල්වල ගතකර එන වැඩිහිටි සල්ලාලයන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්...

විශ‍්‍රාම ගැනීමට ඔන්න මෙන්න සිටින ඔහු කොළඹ පිහිටි ප‍්‍රසිද්ධ සමාගමක සේවයේ නිරත විධායක ශ්‍රේණියේ
නිලධාරියෙකි...පසුගිය දිනක ඔහු කොළඹ නගරයට කිට්ටුව පාත පැත්තක හෝටලයකට යන්නේ ළාබාල තරුණියක් සමගිනි.... ඒ ගොස් ඔහු ඇය සමග පැයක් හමාරක් ගත කොට මෝටර් රථයේ නැගී ඇය සමග ගමන් කරනුයේ අතරමගින් ඇයව බස්සවා නිවසට යාමේ අරමුණ ඇතිවය......
එහෙත් ඊට පෙර ඔවුන් ගමන් ගත් මෝටර් රථය පසුපසින් ඉතා වේගයෙන් පැමිණි සුබෝපභෝගී මෝටර් රථයක් මග හරස්කර නතර කරනු ලැබුවේ මාර්ගයේ පාළු තැනකදීය...
අපි පානදුර වලානේ... ස්කොඞ් එකක්..” මෝටර් රථයේ පැති දොර විවෘත කරගෙන එළියට බැසගත් පුද්ගලයකු විධායක නිලධාරියා සිටි මෝටර් රථය අසලට පැමිණ තමන් කවුරුන්දැයි හඳුන්වා දෙන්නට වූයේ එසේය...
කරුණාකරල අපිට ඔයාලගෙ අයිඩෙන්ටි දෙන්න” එකී පුද්ගලයා සමග මෝටර් රථයෙන් බැසගත් තවත් අයකු විධායක නිලධාරියාගෙන් සහ ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි තරුණියගෙන් ඉල්ලා සිටියේය...
ඒ අනුව ඔවුන් දෙදෙනා ලබාදුන් ජාතික හැඳුනුම්පත අතට ගත් ඒ පුද්ගලයා විසි එකක කෙල්ලෙක්, හැටක මනුස්සයෙක්... අපිට කොහින්ද මේ සැප..” යැයි පවසමින් හැඳුනුම්පත් දෙක හොඳින් පරීක්ෂා කොට එය තම සාක්කුවට දමා ගනිමින් තමුන්ලා අනාචාරයේ හැසිරෙනවා කියලා අපිට තොරතුරු ලැබිල තියෙනවා... දැනුත් හෝටලයක ඉඳන් එන්නේ කියල අපි දන්නවා... අපිට සිද්ධ වෙනව ඔය දෙන්නව උසාවි දාන්න”.. යැයි පවසන්නට වූයේ තමන් නීතියට වැඩ කරන පොලිස් නිලධාරියෙක් බව හගවමිනි...
තමා හෝටල් කාමරයට රැුගෙන ගිය තරුණියගේ වයසේ ගැහැනු දරුවෙක් පවා සිටින විධායක නිලධාරියා උසාවි දානවා...” යැයි ඇසූ ගමන් තොල කට වේලී ගොලූවන්නට වූයේ බිරිඳ හා දරුවන් ඉදිරියේ ලැජ්ජා වන්නට සිදුවන බව සිතීමත් සමගිනි. ළාබාල තරුණියක් සමග හෝටල් කාමරයකට යාමේ බරපතළකම ඔහුට දැනෙන්නට ගත්තේද එවිටය.
උසාවි ගෙනියන්න එපා. අපිට යන්න දෙන්න” විධායක නිලධාරියා ඔවුන් ඉදිරියේ බැගෑපත් වන්නට විය. අසරණව සිටි ඔහු ඒ මොහොතේ ඔවුන් ඉදිරියේ දණ නොගැසුවා පමණි.
අපිට නීතිය ක‍්‍රියාත්මක කරන්න වෙනවා. ඔයාගේ වයිෆ්ව පොලීසියට ගෙන්නල කටඋත්තරයක් පවා ලියාගන්න සිද්ධ වෙනවා” විධායක නිලධාරියාගේ ආයාචනය කිසිදු තැකීමකට ලක් නොකර එසේ පවසමින් ඒ අය විධායක නිලධාරියාත් තරුණියත් ඔවුන් පැමිණි වාහනයට නන්වාගෙන පොලීසියට ගෙන යාමට සූදානම් වන බවක් පෙන්වන්නට ගත්තේය.
සර් ඔය මනුස්සයට අපි පොලීසියට ගෙනිච්චොත් පවුලත් කැඩෙනවා. හෙට අනිද්දා පැන්ෂන් යන්න ඉන්න ඔය මනුස්සයාට පැන්ෂන් නෙමෙයි බෙල්ලෙ වැල දාගන්නයි වෙන්නේ. අපි මෑන්ව අත ඇරලා දාමු” යැයි ඔය අතරේ සිටියෙක් තම උසස් නිලධාරියා බව සඳහන් අයෙකුට පවසන්නට වූයේ විධායක නිලධාරියා කෙරෙහි ඇතිවූ අනුකම්පාවක් මවාපාමිනි....
අනතුරුව විධායක නිලධාරියා අසලට යන ඔහු වැඬේ ගොඩින් ඉවර කරන්න අතේ කීයක් තියෙනවද?” ඇසුවේය.
ඒ වන විට ඔහු අත රුපියල් දහ පහළොස් දහසකට වඩා මුදලක් නොවීය. විධායක නිලධාරියාව තරුණිය සමග මුදාහැරීමට ඔවුන්ට එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවීය.      ක්‍රෙඩිට්කාඞ් පතේවත් විශාල මුදලක් නොවීය. පැළඳ සිටි රන් මාලය උකස් කර මුදල් දෙන්නැයි යෝජනාවක් ඔවුන්ගෙන් ඉදිරිපත්වන්නේ එවිටය. ඒ අයගෙන් බේරෙන්නට එම යෝජනාවට කැමැත්ත පළකරනවා හැරෙන්නට ඔහුට කිසිදු දෙයක් මතකයට නාවේය.... බම්බලපිටිය පැත්තේ උකස් මධ්‍යස්ථානයකට ගිය ඔහු තම ගෙල බැඳි රන් මාලය ගලවා උකස් කළේ ගත හැකි උපරිම මුදල ගනිමිනි. එය රුපියල් එක්ලක්ෂ විසිදහසකි. එම මුදල ඔවුන් අත තැබුවා පමණි තරුණිය සමග විධායක නිලධාරියාව අතහැර දමා ඔවුන් මෝටර් රථයේ නැගී ඉගිලී ගියේය.
තමා උගුලකට හසුවූවාදැයි විධායක නිලධාරියාට සිතෙන්නට වූයේ ඒ අය ගියාට පසුවය.... ඒ ඔවුන්ගේ හැසිරීම මත සැබෑ පොලිස් නිලධාරීන්ම දැයි ඇතිවූ සැකයක් මතය... බාලවයස්කාරියක් නොවන තරුණියක් සමග දෙදෙනාගේම කැමැත්ත මත හෝටල් කාමරයක සිටීම අනාචාරයක් නොවන බව ඔහුට පසක් වන්නේද එවිටය.... මුලින් ඔහුට ඒ කිසිවක් මතකයට නාවේ උසාවියට දානවා යැයි කී විට ඇතිවූ බියටය.... ඒ තමා තරුණියක් සමග හෝටල් කාමරයකට ගොස් බිරිඳට සහ දරුවන්ට වරදක් කළ බව දැනෙන්නට වූ බැවිණි.
විධායක නිලධාරියා සිතූ ලෙසම ඒ අය සැබෑ පොලිස් නිලධාරීන් නොව කාමරවලට යන මෙවැනි හොර ජෝඩු බිය ගන්වමින් කප්පම් මුදල් ලබා ගන්නා කල්ලියකි.... ඔවුන්ගේ ඉලක්කය ළාබාල තරුණියන් සමග සුබෝපභෝගී වාහනවලින් හෝටල් සහ නවාතැන්පොළවල්වලට යන වයසක පිරිමින්ය.... නැතිනම් සල්ලිකාරයන්ය.... දීර්ඝ කාලයක් තිස්සේ හෝටල් සහ නවාතැන්පොළවල් ආශ‍්‍රිත ගැවසෙමින් එවන් ජෝඩු ගොදුරු කරගෙන ලක්ෂ ගණනින් මුදල් කොල්ලකෑ මෙම හොරා පොලිස් කණ්ඩායම මතෛක් කාලයක් හෙළිදරව් නොවන්නේ ඔවුන්ගේ ගොදුරු බවට පත්වූ කිසිවකුත් ඒ ගැන පොලීසියකට පවසන්නට තරම් එඩිතර නොවූ බැවිණි... ඒ තමන් තරුණියක සමග හෝටල් කාමරයකට ගොස් නැවත යමින් සිටියදී මේ දේ සිදුවූ බව කියන්නට බැරිකම නිසාය.... මෙවන් ජෝඩු මෙම කල්ලියේ ඉලක්කය බවට පත්වන්නේද එබැවිණි.
මෙහිදී මෙම විධායක නිලධාරියා ලැජ්ජාව පසෙකලා ඒ ගැන පොලීසියට කියන්නට ඉදිරිපත් වන්නේ තවකකු ඔවුන්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩ අහුරමිනි...
බම්බලපිටිය පොලීසියේ එකී පැමිණිල්ල සටහන් වීමත් සමග ඒ ගැන විමර්ශන පටන් ගන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.... එහි වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් හා මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වන්නට වූයේ එහි ස්ථානාධිපති පොලිස් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා ඇතුළු කණ්ඩායමකි.
දීර්ඝ විමර්ශනයක නිරත වූ එම පොලිස් කණ්ඩායම සාර්ථක ඵල නෙළා ගන්නේ ඉකුත් සතියේදීය.... ඒ ළාබාල තරුණියන් සමග ලැගූම්හල් සහ හෝටල් කාමර වෙත යන විධායක නිලධාරීන් ඉදිරියේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බිය ගන්වා මුදල් කඩාගත් කල්ලියේ තිදෙනකු කොටුකර ගනිමිනි... ඒ අය අතර සේවය අතහැර ගියා සේ සැලකූ පොලිස් නිලධාරියෙක්ද සිටියේය... පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ අවසන් වරට සේවය අවසන් කර ඇති ඔහුට 2008 වසරේදී මඩකලපුවට ස්ථාන මාරුවක් ලැබිමත් සමග සේවයට වාර්තා නොකිරීමෙන් පොලීසියේ රක්ෂාව අහිමිවී තිබිණි.... අත්අඩංගුවට ගත් තවත් අයෙක් වසර දහයක් ජපානයේ රැුකියාවක නිරතව සිටියෙකි..... ප‍්‍රවාහන සමාගමක හිමිකරුවෙකුගේ පුතෙකු වන ඔහු කෝටිපතියෙකි. තදින්ම කැසිනෝ සූදුවට ඇබ්බැහි වී සිටින්නෙකු වන ඔහු ඒ නිසාම කෝටි ගණනක දේපළ විනාශ කරගෙනද සිටින්නෙකි.... තවෙකෙක් වේයන්ගොඩ පැත්තේ සිටින්නෙකි....මේ තිදෙනා එකිනෙකා දැන හඳුනාගෙන ඇත්තේ කැසිනෝ ශාලාවකදීය.... ඒ ඔවුන් තිදෙනාම කැසිනෝ සූදු කෙළින්නන් වන බැවිණි.
කුලී පදනම මත වාහන ලබාගෙන කැසිනෝ සූදුපොළවල්වලට යන ඔවුන් තිදෙනා කෝටිපතියන් ලෙස හැසිරෙමින් කැසිනෝ සූදුවේ නිරත වන බව පරීක්ෂණවලින් හෙළිවී ඇති කරුණකි..... ළාබාල තරුණියන් සමග ලැගුම්හල් සහ හෝටල් කාමර වෙත යන විධායක නිලධාරීන් ගොදුරු කරගන්නේ කැසිනෝ සූදුවට මුදල් සොයා ගන්නටය....
හෝටල් සහ ලැගුම්හල් අසල ගැවසෙමින් එවන් ජෝඩු ගැන තොරතුරු දැනගෙන අතරමගදී ඒ අයව බිය ගන්වමින් මෙම ජාවාරම බොහෝ කාලයක සිට කරගෙන යමින් බොහෝ පිරිසක් ගොදුරු කරගෙන ඇතත් පොලීසියේ ඇත්තේ එක් පැමිණිල්ලක් පමණි...
කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතා මොවුන්ට ගොදුරු වූ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන කිසිදු බියක් සැකයක් තබා නොගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දෙන ලෙසය. පුද්ගල රහස්‍යභාවයද රකින්නට කොළඹ අපරාධ කොට්ඨාසය සැදී පැහැදී සිටින බවද ඔහු සඳහන් කළේ 011 2662322 දුරකථන අංකයෙන් තමාව හෝ 011 2662311 යන දුරකථන අංකයෙන් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් සිල්වා අමතා තොරතුරු ලබාදෙන ලෙසය.
ගයාන් කුමාර වීරසිංහ
උපුටා ගැන්ම ලක්බිම
 
Top