මීගමු කොල්ලයේ මහ මොළකරු එජාපයේ රොයිස් | Gossip lanka news Sinhala News Sinhala Cinema News


මීගමුව නගරයේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදල් කොල්ලය සැලසුම් කළ ප්‍රධාන සැකකරුවකු වන මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්‍ෂක රොයිස් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ රියැදුරුද ඇතුළු සැකකරුවන් 4 දෙනකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව නගර සභාවේ හිටපු විපක්‍ෂ නායකයාද වන ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයකු බව හෙළිවී තිබේ.


පරීක්‍ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ පසුගිය 17 වැනි දින මුහුණු ආවරණ කරගෙන එම ආයතනයට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනා

මුදල් පැහැරගෙන පලා ගොස් ඇති බවයි. යතුරුපැදි දෙක පැදවූ සැකකරුවන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මුදල් රැගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනා සෙවීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවත්ය.

මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබාගැනීමට එ.ජා.ප. අපේක්‍ෂකයා මෙම කොල්ලය මෙහෙයවා ඇති බවත්, මීට පෙර ඔහු පිටස්තර පුද්ගලයන්ට විශාල වශයෙන් මුදල් ණය වී ඇති හෙයින් ඔවුන් ඔහුට විරුද්ධව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් බන්ධනාගාර ගත වුවහොත් මෙවර තරගබිමේ සිටීමට නොහැකි හෙයින් මෙම කොල්ලය සැලසුම් කිරීමට ඔහු වටා සිටි එ.ජා.ප. ආධාරකරුවන් පෙරටවිත් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

එම කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද මුදලින් රුපියල් එක්ලක්‍ෂ අසූපන් දහසක මුදලක් ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය තුළ සඟවා තිබී සොයාගෙන ඇති අතර එම මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන ඇඟිලි සලකුණු පරීක්‍ෂණ සඳහා ආරක්‍ෂා සහිතව මුද්‍රා තබා ඇති බව පොලිසිය පැවැසීය.

සැකකරුවන් දෙදෙනාගේ හිස්වැසුම් දෙකත් ඇළකට විසිකර තිබී සොයාගත් පොලිසිය එම හෙල්මට් දෙක මිලදී ගැනීම සඳහා සැකකරුවන් හිස් ආවරණ නොමැතිව ගිය වෙළෙඳසල සොයාගෙන තිබේ. එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා තුළින් සැකකරුවන් ඇදගෙන ආ ටී-ෂර්ට් දෙකක සමීප දර්ශන ලබාගත් පොලිසිය ඒවා නිෂ්පාදනය කර ඇති කටුනායක ඇඟලුම් ආයතනයද හඳුනාගෙන තිබේ.

මුදල් පැහැරගෙන ගිය කොල්ලකරුවන්ගේ ඇඟිලි සලකුණු දෙකක් මුදල් පැහැරගත් ආයතනයේ තිබී සොයාගෙන තිබේ.


බස්නාහිර උතුර ප්‍රදේශයට භාර නියෝජ්‍ය පොලිස්පති එල්. පී. කුලරත්න මහතාගේ උපදෙස් මත මීගමුව
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ, සහකාර පොලිස් අධිකාරි අරුණ ශාන්ත පොලිස් පරීක්‍ෂක රත්නායක යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරුට විරුද්ධව 1993-2012 වසරවලදී වෙන්නප්පුව කටුනායක ප්‍රදේශවලදී සිදුවී ඇති සමූහ කොල්ලකෑම් පිළිබඳ පරීක්ෂණ හා නඩු තිබෙන අයකු බවත් පුද්ගලයන් විදේශගත කරන බවට රවටා රුපියල් 20 ලක්ෂයක මුදල් වංචාවක් පිළිබඳ මීගමුව විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මේ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් ඔහු පැය 72ක් රඳවාගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේය. මීගමුව කෝටි දෙකේ මංකොල්ලයේ මහමොළකරු බවට පොලිසිය විසින් හඳුනාගනු ලැබ ඇති රොයිස් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට රැගෙන එනු ලැබුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මීට අමතරව ඒ මහතාට මීගමුව ආසන සංවිධායක ධුරයද පිරිනමනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීගමුව ආසන සංවිධායක ධුරය පිරිනමනු ලැබීමෙන් අනතුරුව රොයිස් ප්‍රනාන්දු මහතා පිළිගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති පළමු රැස්වීමේදී ඒ මහතාව පිළිගනු ලැබුවේ එජාප නායකත්ව මණ්ඩල සභාපති මෙන්ම ගම්පහ දිස්ත්‍රික් එජාප නායකයාද වූ කරු ජයසූරිය මහතාය.
එදින එම රැස්වීමට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතාද සහභාගි වී සිටි අතර ප්‍රනාන්දු මහතා සිය කතාවේදී රොයිස් ප්‍රනාන්දු මහතාව මහත් ඉහළින් වර්ණනා කරනු දැකගන්නට ලැබිණි.
 
Top