අධ්‍යක්ෂකවරු ඔය තරම් වල්ද? | Gossip lanka news Sinhala News Sinhala Cinema News


මේ දවස් වල ටෙලි නාට්‍ය, චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් ගන ඇහෙන කතා එතරම් සුබ නෑ. කියන තරම් අධ්‍යක්ෂකවරු අවුල්ද කියලා නිළියන් කිහිපදෙනෙක්ගේ අදහස් මේ...

පඹයෙක් හරි තනියට අරන් යන්න ඕනෑ | උදාරි

මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක් හතක් වෙනවා. ඒ අවුරුදු හය හත ඇතුළත අධ්‍යක්‍ෂවරුන්ගෙන් මට නම් බලපෑම් ඇවිත් නෑ. හැබැයි පසුගිය අවුරුදු දෙකේ ක්‍ෂේත්‍රයෙන් තාවකාලිකව සමුගෙන හිටිය නිසා දැන් තියෙන තත්ත්වය මොන වගේද කියන්න මං දන්නේ නෑ. අනිත් එක කාන්තාවෝ හැටියට අපිත් මෝඩයෝ නෙවෙයිනේ. කවුරු වුණත් හැරෙනකොට අපිට කියන්න පුළුවන් වෙන්න ඕන ඒ ගොල්ලො මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා. රංගන හැකියාවද නැත්නම් එතැනින් එහා ගිය වෙනයම් දෙයක්ද කියන එක. බුද්ධිමත් විදියට ඒ වගේ මනුස්සයන්ව ඩීල් කරන එක තමයි වැදගත් වෙන්නෙ.

මෝඩයෝ වෙලා, අනේ දැන දැන රඟපෑමේ ආසාව වෙනුවෙන් තමන්ගේ ආත්ම ගරුත්වය පාවා දෙන්න එපා කියලා තමයි අලුතෙන් ක්‍ෂේත්‍රයට එන අයට මට දෙන්න තියෙන පණිවුඩය. මට ඒ වගේ බලපෑම් කවදාවත් ඇවිත් නෑ. එහෙම නොවෙන්න හේතුව විදියට මං දකින්නේ මගේ පස්සෙන් තාත්තා හිටියා. ඒ නිසා අලුතෙන් එන නිළියන්ට කියන්න තියෙන්නෙ පඹයෙක් විදියට හරි තමන්ගේ කියන කෙනෙක් නිතරම පස්සෙන් අරගෙන යන්න තනියම යන්නේ නැතුව. මොකද කෙල්ලොනේ.


අධ්‍යක්‍ෂකට විතරක් ‍දොස් කියන්න බෑ | අනූෂා දමයන්ති

මට කියන්න තියෙනදේ තමයි නිළියන්ට ජනප්‍රිය වෙන්න හොඳම මාර්ගය ඕක වෙලා තියෙනවා. මේ වගේ දෙයක් මාධ්‍යවලට පළකිරීම තුළ එක රාත්‍රියෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්. මිනිස්සුන්ට හොඳ දේට වඩා නරක දේ ඉක්මනට යනවනේ. සමහරු එහෙම ප්‍රසිද්ධිය ලබාගෙන තියෙනවා. මගේ මතය මේ වගේ ක්‍ෂේත්‍රයක ඒවගේ දේවල් විය යුතු නැහැ. අනිත් එක ඔහොම දෙයක් වුණොත් කතා කරලා විසදගන්න ඕන. ඔය දේවල් එළියට කීම තුළ අධ්‍යක්ෂවරයාට කවදාවත් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ. අනිත් එක ඕක ලෝකෙට කීවා කියලා ලෝකෙන් හොඳ ප්‍රතිචාරයක් කවදාවත් හම්බ වෙන්නෙ නෑ.


අනිත් අතට අධ්‍යක්ෂවරුන්ගෙන් අහලා බලන්න දවසට කීයක් ඡායාරූප, ලිපි එනවද රඟපාන්න දෙනවා නම් ඕනම දේකට කැමැතියි කියල. එහෙම වැඩ ගන්නවා නම් අධ්‍යක්ෂවරුන්ට එහෙමත් වැඩ ගන්න පුළුවන්. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12 ක් වෙනවා. බොරු කියන්න ඕන නෑනේ, මට නම් කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ.


ඕවාට චර්යාවත් බලපානවා | ඕෂධී

මම දැන් ඇවිල්ලා අවුරුදු 10 ක් වෙනවා ක්‍ෂේත්‍රයට. ටෙලි නාට්‍ය 50 කට වැඩි සංඛ්‍යාවක රඟපාලා තියෙනවා. චිත්‍රපට 5 ක් කරලා තියෙනවා. හැබැයි මට නම් කිසිම අධ්‍යක්‍ෂවරයෙක්ගෙන් හෝ කිසිම නළුවෙක්ගෙන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. මම දන්නේ නෑ මොකක්ද හේතුව කියන්න. මම මගේ අත්දැකීම් එක්ක කියන්නේ. මෙහෙම දෙයක් තියෙනවා. මගේ ක්‍ෂේත්‍රයේ සමහර අය මට කියලා තියෙනවා එයාලට එහෙම දේවල් වෙලා තියෙනවා කියලා. ඒ ගොල්ලෝ ඒ නම් කරපු අධ්‍යක්‍ෂවරු එක්කත් මං වැඩ කරලා තියෙනවා. මට නම් වචනයකින්වත් හානියක් වෙලා නෑ. ඒ මගේ හැසිරීම එක්ක වෙන දෙයක් කියලා මම නම් හිතන්නේ. නැත්නම් මං එනකොට වුණත් එහෙම අයුතු ප්‍රයෝජන ගන්න බලන් හිටිය අය ඉන්න ඇති. නමුත් ඒ කාටවත් අවස්ථාවක් ලැබුණේ නෑ. මම අම්මා එක්කමයි හිටියේ. අනිත් එක මං ටිකක් සැරයි. කියලා හැමෝම දැනගෙන හිටියා.


මම කියන්නේ චරිතයක් ලබාගන්න වගේ දේකට එවැනි කැපවීමක් කරන්න ඕන නෑ. එවැනි දේ නොකළට මට ඕන තරම් හොඳ චරිත ලැබුණා. මම හිතන්නේ තමන්ගේ පැවැත්ම තමයි මේ හැමදේකටම බලපාන්නේ. අපි හොඳ නම් අපිට බලපෑමක් කරන්න කාටවත් බෑ.


තනි අතින් අත්පුඩි ගහන්න බෑ | මහේෂි

ප්‍රශ්න තියෙනවා. නැත්තේ නෑ. ඕනම ක්‍ෂේත්‍රයක ප්‍රශ්න තියෙනවා. මොකද අපි වැඩ කරන්නේ පිරිමි පාර්ශ්වය එක්කනේ. ගස්, ගල්, හඳුන්කූරු එක්ක නෙවෙයිනේ. රංගන ක්‍ෂේත්‍රය විතරක් නෙවෙයි, අපි ගමු නර්ස් කෙනෙක්, ඩොක්ටර් කෙනෙක්. එයාර් හොස්ටර් කෙනෙක්, නර්ස් කෙනෙක් උදාහරණයට ගත්තොත් එයාට නයිට් ඩියුටි කරන්න වෙනවා. එහෙම ඕනෑම ක්‍ෂේත්‍රයක ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ තමන් හරියට ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. බලපෑම් තියෙන්නෙ මෙහෙමයි. කෙනෙක් ඇහුවම හා කිව්වොත් එතන එක්කෙනෙක් නෙවෙයිනේ. දෙන්නෙක්නේ. මං හිතන්නේ වෙනවා නම් දෙයක් වෙන්නෙ දෙපැත්තෙම සහයෝගය ඇතුව. අතවරයක් කරන්න කාටවත් බෑ. සිය කැමැත්ත ඕනේ. තමන්ගේ දක්‍ෂතාව තියෙනවා නම්, තමන්ගේ රූපය තියෙනවා නම් තමන්ගේ වාසනාව තියෙනවානම් නිසි තැන, නිසි ආකාරව හදා ගන්න පුළුවන්. මේ මම ඉන්නවා වගේ.
 
Top