බැංකු පුතා ලේලිය සමග එක්ව අම්මාව පිළිකන්නට දාලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

නැන්දම්මා නිවසේ පිළිකන්නට දමා කන්න බොන්න නොදී පහර දෙමින් වද හිංසා කල ලේලියක පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. ලීලාවතී නමැති 83 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාව කාලයක සිටම මේ ආකාරයට හිරිහැරයන්ට ලක්වන බව අසල්වාසීන් දැන සිටි අතර ‘‘මාව මරන්න එපා මට ගහන්න එපා.“ යයි වෙන කවරදාවත් නැති විදිහට ඊයේ උදේ ඇයට පහරදෙනු ඇසී ඒ ගැන පොලිසියට දැනුම්දීමට ඔවුන් ක්‍රියාකර තිබුණා.

ඒ අනුව පොලිසිය එම දෙමහල් නිවස වටළා පරීක්ෂා කිරීමේදී නිවසේ කාමර ගණනාවක් තිබුණත් නැන්දම්මා ඒ කිසිවක නොසිටි අයුරුත්

නිවසේ පිළිකන්නට වෙන්නට බ්ලොක්ගල් වලින් තාවකාලිකව හැදූ මඩුවක තැබූ ඇඳක ඇය කුසගින්නේ වැතිර සිටි අයුරුත් දැකගන්නට ලැබී තිඛෙනවා.

අධික ලෙස බඩගින්නේ සිටි ඇයට පොලිසිය මැදිහත්වී ආහාර ලබාදුන් අතර ඇයට වදහිංසා පැමිණවූ ලේලිය අත්අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළා. වයෝවෘද්ධ මවගේ පුතණුවන් විශ්‍රාමික බැංකු නිලධාරියෙකු වූ අතර දෙමහල් සුඛෝපභෝගී නිවසේ ඔහුත් බිරියත් දරු දෙදෙනාත් ජීවත්ව සිට ඇත.
සැමියාගේ මව රුස්සන්නේ නැතිවූ බැවින් ඇයව පැත්තකට තල්ලූකරන්නට ලේලිය ක්‍රියාකර ඇත්තේ දිගු කලකට පෙරයි.

ශාරීරිකව දුර්වල ඇයට ඇවිදින්නටද අපහසුය.ඇය වැස්සට අව්වට පීඩා විඳිමින් මේ මඩුවේ කල්ගත කර තිබුණ අතර නිසි වේලාවට ආහාර පානද ලබාදී නැත. බඩගින්නට කෑගසන අවස්ථාවල අසල්වාසී කාරුණිකයින් තාප්පය උඩින් හොරෙන් කෑම ලබාදී ඇති අවස්ථාද වාර්තාවී තිබුණා. පොලිසිය නිවස වටළන අවස්ථාවේදී ඇය සිටි මඩුවේ ඇයට ජලය ලබාදී තිබුණ ප්ලාස්ටික් බෝතල් හමුව තිබුණා.
ඒවා සෙවල බැඳී අපිරිසිඳු ආකාරයට තිබුණ හැටි දැක පොලිස් නිලධාරීන් විස්මයට පත්වූයේ සතෙකුටවත් මේ ආකාරයට සලකන්නේ නැති බව කතාබහ කරමිනි. වයෝවෘද්ධ මව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී කියා ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඇයට ලේලිය ගඩොල් බාගයකින් පහරදුන් බවකි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ලේලිය 52 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇයව අද කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
මෙම වැටලීම සිදුකරන්නට පොලිසිය ඉදිරිපත්වූ අවස්ථාවේ අසල්වාසීන් විශාල පිරිසක්ද මේ නිවස අසලට පැමිණ සිටි අතර ඔවුන් සියල්ල පොලිසියට සිය ස්තූතිය පළකර තිබුණා.

දෙමාපියන්ට නොසලකන පුතුන් ලේලියන් ගැන අද කාලයේ විවිධ කතා අසන්නට ලැඛෙනවා. මේ සිද්ධිය අන්අයට දැනගන්නට ලැබුනේ පොලිසිය මැදිහත්වීම නිසාය.

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
Top