පෙම් සබඳතාව කඩ වුණාම තරුණියක ගෙල වැල ලා ගෙන | Gossip lanka news Sinhala News Sinhala Cinema News


ජංගම දුරකතනයෙන් හඳුනාගත් තරුණයා විවාහ යෝජනාවකට ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් සිත් තැවුලට පත් 16 හැවිරිදි තරුණියක් ගෙල වැලලාගෙන මිය ගිය පුවතක් වැලිමඩ මූලික රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැලිමඩ බොරගස් බැලුන්ගල පදිංචිව සිටි ජී.එච්. නිල්මිණී රුක්ෂානි නම් තරුණයකි. කැප්පෙටිපොළ හදිසි මරණ පරීක්ෂක ඩබ්.ඒ. අබේරත්න මහතා විසින් මේ මරණය පිළිබඳ පරීක්ෂණ වැලිමඩ මූලික රෝහලේදී පවත්වන ලදී.

වැලිමඩ පොලිසියේ පොලිස් සැරයන් ජේ.එම්. ජයසිරි (28654) මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් මියගිය තරුණියගේ මව වන එච්.එච්.එම්. පත්මාවතී (36) මෙසේ පැවැසුවාය.

මම විවාහ වී සිටින්නේ පී.එච්. සූරසේන සමඟයි. අපිට දරුවෝ තුන් දෙනෙක් සිටිනවා. මිය ගොස් සිටින නිල්මිණි අපගේ වැඩිමහල් දියණියයි. ඇය පසුගිය දෙසැම්බර් පැවැති අ.පො.ස. (සා.පෙළ.) විභාගයට පෙනීසිටියා. දුව කලකට පෙර ජංගම දුරකතනය ඔස්සේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි සම්පත් යන අයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තියෙනවා. දුව මොහු සමඟ විවාහ වීමට අවශ්‍ය බව දැඩිව ප්‍රකාශ කළා.

ඒ නිසා තරුණයාගේ මවුපියන් සමඟ නිවෙසට පැමිණ විවාහය පිළිබඳ සාකච්ඡාවකට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් පසුගිය 22 දින අපගේ නිවෙසට පැමිණ ගියායින් පසු දුව සමඟ පැවැති සම්බන්ධතාව අතහැර දමා තිබුණා. තරුණයාගෙන් ප්‍රතිචාරයක් නොමැතිකමින් දුව කලකිරීමකින් සිටියා.

ජනවාරි 25 වැනි දින මම දුව නිවෙසේ නතර කර රෙදි සේදීමට ගියා. රෙදි සෝදාගෙන නිවෙසට එන විට දුව මගේ සාරියකින් නිවෙසේ බාල්කයක එල්ලී සිටිනු දුටුවා. වහාම වැලිමඩ රෝහලට ගෙනාවත් ඇය මිය ගොස් ඇති බව වෛද්‍යවරු කීවා. දුව විවාහ බලාපොරොත්තු කැඩී යෑම නිසා මෙසේ සියදිවි නසා ගන්න ඇතැයි සිතනවා යැයි මව සාක්ෂි දෙමින් පැවැසුවාය.

ඉදිරිපත් වූ සාක්ෂි හා වැලිමඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි චම්පික දිසානායක මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙය ගෙල සිර කර ගැනීමෙන් හුස්ම හිරවී සිදු වූ සියදිවි නසා ගැනීමක් ලෙසට හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කරන ලදී.
 
Top