නිශාන්ත නවකවදයේ තවත් බිල්ලක්ද? | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයට 2011 වසරේදී තේරීපත්ව සිටියදී ජ්‍යෙෂ්ඨ සිසු පිරිසකගේ අමානුෂික වධහිංසාවන්ට ලක්ව විශ්වවිද්‍යාලය හැර ගිය බව කියන සිසුවකුගේ මළ සිරුරක් විශ්වවිද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු ශාලාව පිටුපස වන ලැහැබක තිබී ඊයේ (10) පස්වරුවේ සොයාගෙන ඇත.

මියගොස් සිටින සිසුවා ඔහු සමඟ විශ්වවිද්‍යාලයට තේරීපත් වූ සිසුවකුට ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළව මහනුවර අධිකරණයේ විභාග වූ නඩුවක ප්‍රධාන සාක්කිකරුවකු ලෙස සිට ඇති බව දැන ගන්නට තිබේ.

අදාළ නඩුවේදී නවකවධය මුවාවෙන් ලිංගික අතවර කිරීමේ චෝදනාවට

විශ්වවිද්‍යාල සිසුන් තිදෙනකු වරදකරුවන් වූ අතර ඔවුනට අත්හිටවූ සිරදඬුවම් ද නියම කෙරිණි.

විශ්වවිද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු ශාලාව පිටුපස කිලෝමීටරයක් පමණ දුරින් වන ලැහැබක ගසක මෙම සිසුවාගේ මළසිරුර එල්ලී තිබෙනු බාලදක්ෂ සිසුන් පිරිසක් දැක විශ්වවිද්‍යාලයට දැනුම්දී ඇත. ඒ වනවිටත් මොහු මියගොස් සති දෙකක පමණ කාලයක් ගතව ඇති බව පොලිසිය පවසයි. ප්‍රදේශය පුරා දැඩි දුඟදක් ද පැවතිණි.

මියගොස් සිටින තරුණයා විශ්වවිද්‍යාලයේදී ඉකුත් 2011 වසරේදී නවකවධයට ලක්ව විශ්වවිද්‍යාලය හැරගිය ඩී. කේ. නිශාන්ත බවට සැකකරයි. ඔහුගේ මවුපියන් ඉකුත් ජනවාරි 26දා කඩවත පොලිසියට පැමිණිල්ලක් කැරමින් තම පුතු ආගිය අතක් නොමැති බවට පවසා ඇත.

මෙම තරුණයාද 2011 වසරේදී නවකවධය ලබාදුන් සිසු පිරිසක් අතින් ලිංගික අපයෝජනයට ලක්ව ඇති අතර ඔහු ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් නොකර විශ්වවිද්‍යාල ජීවිතයට සමුදී තිබේ.

තම පුතු අතුරුදන්ව ඇති බව පවසා මෙම සිසුවාගේ ඥාතින් පිරිසක් පසුගියදා විශ්වවිද්‍යාලයට පැමිණ ආරක්ෂක අංශ නිලධාරින් හමුවී පැමිණිල්ලක් ද කැර ඇත.

විශ්වවිද්‍යාල ජීවිතයට සමු දී පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතව ඇති අදාළ සිසුවා තම පෙම්වතිය හමුවීමට විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

මියගිය තරුණයා‍ගේ සිරුර අසල ඔහුගේ ජංගම දුරකථනය හැර මුදල් පසුම්බිය තිබී පොලිසිය සොයාගෙන ඇත.

අදාළ ස්ථානයට ඊයේ (10) පස්වරුවේ පොලිස් ආරක්ෂාව යෙදූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) සිදුකිරීමට නියමිතය.

මෙම තරුණයා සියදිවි හානිකර ගත්තේ ද නැතහොත් ඝාතනය කැර තිබේ ද යන්න එහිදී හෙළිවනු ඇතැයි පොලිසිය පවසයි.
 
Top