ඉරිදා දිනයේ ටියුෂන් පන්ති පැවැත්වීම නතර කිරීමට හැකියාව තිබුණද තමන් එය නොකරන්නේ යැයි අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
දරුවන් දහම් පාසල් යැවිය යුතු බවට බලකරමින් නීති පැනවීම හා නියෝග ලබාදීම අවශ්‍ය නැතැයි ඇමැතිවරයා පෙන්වා දෙයි.
අනුරාධපුර පෙරුම්කුලම ශ්‍රී සම්බුද්ධ මෛත්‍රි අරණ විහාරස්ථානයේ ඉදිකිරීමට නියමිත නව බුද්ධ මන්දිරයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.
'බොහෝ විහාරස්ථානවලට ගියාම හාමුදුරුවරුන් වගේම මවුපියනුත් ඇවිත් කියනවා
ඉරිදා දවසට ටියුෂන් පන්ති නවත්තලා දෙන්න කියලා. ඒක කරන්න පුළුවන් වුණත් මම කරන්නේ නැහැ.
දහම් පාසලේ වටිනාකම මවුපියන්ට මිස රටේ ජනාධිපතිවරයාටවත්, අධ්‍යාපන ඇමැතිටවත්, අල්ලපු ගෙදර මවුපියන්ටවත් දැනිය යුතු නැහැ. ඒ නිසා මවුපියන් තීරණය කළ යුතුයි තමන්ගේ දරුවා යා යුත්තේ දහම් පාසල්ද, ටියුෂන් පන්තිද කියන එක. දහම් පාසල් යන දරුවයි, නොයන දරුවයි අතර වෙනස අපි හොඳට දැකලා තියෙනවා. ඒ නිසා තමන්ගේ දරුවාට ආදරය කරනවා නම් දරුවා යහපත් පුද්ගලයකු වෙනවාට කැමැතිනම් දරුවා දහම් පාසලට යැවිය යුතුයි කියලා නීති දාන්නවත් නියෝග දෙන්නවත් අවශ්‍ය නැහැ.'
මිනිසුන් පන්සලෙන් අෑත්වීමේ විපාකයක් ලෙස නිරන්තරයෙන් මාධ්‍ය හරහා අප අකැමැති පුවත් රැසක් වාර්තා වන බවද ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.