මලීතා ජාතික රූපවාහිනියේදී යුග දිවියට
ජීවිතයේ තීරණාත්මක කාලයක අනපේක්ෂිත කරදරයකට ලක්වූ මලිතා ඇගේ අනාගතය කෙසේ වේදැයි අවිනිශ්චිතව සිටි තැනැත්තියකි. කාලයක් තිස්සේ ඇය විඳි දුක් වේදනා අපමණය. ඇයට පිළිසරණට සිටියේ මාධ්‍ය ආයතනයකි. ඒ ජාතික රූපවාහිනියයි. මින් වසර 11 කට ප්‍රථම 2003 දී වැලිවේරිය දනව්කන්ද ප්‍රදේශයේ දී අකුණු සර වැදීමෙන් මවුපියන් මියගොස් ලෝකයේ තනිවූ 8 හැවිරිදි දැරියක හා දරුවෙකු ගැන ප්‍රවෘත්තියක් පළ වුණා.
මලීතා කුඩා දැරියකව සිටියදී ඇතිවූ කම්පිත සිදුවීම එවකට ජාතික රූපවාහිනියේ නිලධාරී මඩුල්ල විශේෂ දෙයක් ලෙස සැලකුවා. එකල කිසිඳු නාලිකාවක් විකාශය නොකළ අන්දමේ වෙනස් මුහුණුවරකින් ජනතාව අතරට මේ පුවත ගෙන ගියා.
මලීතාට සහ කුඩා දමිත පුතණුවන්ට සොබා දහමේ කුරිරු විපාකය නිසා
මවුපියන් අහිමි වුණා. මලීතා මෘත දේහ අසළ හිස අතගාමින් සහ ඔවුන් මිහිදන් කළ ස්ථානයේ ඉටිපන්දම් දල්වමින් සිටින අයුරු රූපවාහිනියේ විකාශය කර තිබුනේ බොහෝ දෙනෙකුට කඳුලක් එක්කරමිනි.
මලීතා දියණිය ඇගේ මවුපියන් පිළිබඳ අදහස් දැක් වූ අයුරුත් ඒ කාලයේ කම්පිත දර්ශනයක් විය. එය දුටු මෙරට බොහෝ පින්වතුන් එම දරුවන්ට උපකාර කිරීමට එකඟතාව පළ කරමින් ජාතික රූපවාහිනියට ඒ බව දැනුම්දී තිබුණා.
අවසානයේ දී දරුවන් දෙදෙනා වෙනුවෙන් ඉඩමක් සහ නිවෙසක් ද ඔවුන්ගේ පරිභෝජනය සඳහා ආහාරපාන ආදිය ද මුරුත්තෙට්ටුවේ හිමියන් මෙන්ම මහාචාර්ය ගංගානාත් දිසානායක, මාලතී කොඩිතුවක්කු මහත්මිය ප්රමුඛ ජාතික රූපවාහිනි නිලධාරී මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ දරුවන් දෙදෙනාට රැකවරණය සැලසුණා. වනසරණ සමාගම විසින් ඔවුන්ට පර්චස් තිහක තේක්ක ඉඩමක් ද ලබාදී තිබුණා.
රූපවාහිනී සංස්ථාවේ රැකවරණය ලබමින් ඇති දැඩි වූ මලිතා පියරත්න දියණිය රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දී 24 වනදා පෙරවරුවේ යෙදී තිබූ සුබ නැකතින් පතිකුලයට සැපත් වූයේ ඇගේ අනාගතයට ස්ථීර මාවත හෙළි පෙහෙළි කරගනිමිනි.
වයස අවුරුදු අටේ දී අනපෙක්ෂිත, අවාසනාවන්ත සිදුවීමෙන් මවුපියන් අහිමි වූ මලිතා දියණිය පෝරු මස්තකය වෙත පියනැගුවේ සංඝරත්නයත් ඇයගේ කුඩා සොයුරාත් මිත්තණියත් නෑදෑ හිතමිතුරන් පිරිසත් හා ජාතික රූපවාහිනී සංස්ථාවේ මිතුරුකැලෙත් ආශිර්වාදයට මැදිවය. මලීතා පියරත්න හැඩගන්වා තිබුණේ ප්රවිණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතාය.
මිනිස් ගුණධර්ම රැසක් පෙන්නුම් කරන ආදර්ශවත් සමාජ කර්තව්‍යක් ලෙස මේ අවස්ථාව සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අදහස වුණා.