කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල්ගෙන් තවත් විස්මිත සැත්කමක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පස් හැවිරිදි දරුවකුගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් අටට පැලී තිබූ එම දරුවාගේ හිස්කබල බද්ධ කොට සම්පූර්ණ සුවය ලබා දුන් කරාපිටිය මහ රෝහලේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පනස් හතර හැවිරිදි පුද්ගලයෙකුගේ සුසුම්නාව ආශ්‍රිතව තිබූ සැරව ගෙඩියක් කොදු ඇට පෙළේ අස්ථි නොකපා විස්මිත සැත්කමක් සිදුකොට එම රෝගීයාට සම්පූර්ණ සුවය ලබාදී තිබේ. කොදු ඇට පෙළ විවර නොකර එහි අස්ථි නොකපා එම සැරව ගෙඩිය ඉවත් කිරීමට හැකිවිම මේ සැත්කමේ විශේෂත්වය වී තිබේ. එමෙන්ම සැත්කමෙන් පසු මාස ගණනක් රෝහල්ගතව සිටිය යුතු රෝගියා මේ විස්මිත සැත්කම නිසා දින දෙකකින් රෝහලෙන් පිටව යාමට තරම් රෝගියාට වාසනාව උරුම වී තිබේ.

රෝගියා මුලින්ම රෝහලට ඇතුළු කරනවිට සාමාන්‍ය කැස්සක් තිබුණා. ඊට අමතරව මොහු තුනටියේ අධික වේදනාවකින් පීඩා වින්දා. ක්‍රමයෙන් රෝගියාට ඇවිදිමට අපහසු වුණා. රෝගියාගේ රුධිර පරීක්ෂණයක් කළා. නමුත් විශේෂිත යමක් සොයා ගැනීමට අපහසු වුණා. ඊට පසුව කළ

එම්.ආර්.අයි. පරීක්ෂණයේදී රෝගියාගේ කොදු ඇට පෙළට පසුපසින් සහ සුසුම්නාවට ඉදිරියෙන් සැරව ගෙඩියක් ඇති බව සොයා ගත්තේ යැයි මේ සැත්කම සිදුකළ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා දිනමිණ සමඟ කළ සාකච්ඡාවේදී අනාවරණය කළේය.

පළමුවෙනි සහ දෙවැනි කටී කශේරුකා දෙක අතර මේ සැරව ගෙඩිය තිබුණා. එම සැරව ගෙඩිය සෙන්ටි මීටර හතරක් උසට සහ සෙන්ටි මීටර් දෙකක් පළලට තිබුණා. සැරව ගෙඩිය සුසුම්නාවේ තෙරපෙන නිසා රෝගියාට අධික වේදනාවක් දැනුණා. නමුත් කොදු ඇට පෙළ කපා මේ සැරවගෙඩිය ඉවත් කළා නම් රෝගියා බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. සැත්කමෙන් පසු මාස ගණනක් රෝහලේ නතරවී ඉන්නත් වෙනවා. රෝගියාට ඇවිදීමට ලැබෙන්නේ සති කීපයකට පසුවයි. අඩුම තරමේ වාඩි නොවී පවා දිගු කළක් ඉන්න ඕන. ඒ වගේම බද පටියක් පැළදිය යුතුයි. කොදු ඇට පෙලේ අස්ථි කපා සැත්කම කළ විට රෝගියාට මේ අපහසුතාවලට මුහුණපෑමට සිදුවෙනවා. නමුත් මේ විස්මිත සැත්කම සිදු කළ ආකාරය වෛද්‍ය අත්තනායක මහතා මෙසේ හෙළි කළේය.

ප්‍රථමයෙන් රෝගියා ශල්‍යාගාරය තුළදී නිර්වින්දනය කළා. ඊට පසුව මුනින් අතට හරවා වක්‍රාකාරව තබා සැත්කම සිදු කළා. සෙන්ටීමටර් තුනක පමණ කොටසක් හමෙන් විවර කළා. සැත්කම කරන අතරේ විටින් විට එක්ස් රේ ගත්තා. එක්ස් රේ බලමින් සැත්කම සිදු කළා. පළමු සහ දෙවැනි කශේරුකා දෙක අතර තිබුණ සැරව ගෙඩිය කොදු ඇට පෙළ නොකපා ඉවත් කිරිම තමයි මෙහි විශේෂත්වය. අඩු පීඩන යන්ත්‍රයක් උපයෝගී කරගෙන සැරව ඉවත් කළා. පැය දෙකක පමණ කාලයක් සැත්කම කිරීමට ගත වුණා.

රෝගියාට සිහිය ලැබුණ පසු ඇවිදීමට සැලැස්සුවා. සාමානය ලෙස රෝගියා මුත්‍රා කළා. සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදු වුණා. මේ සැත්කමට පැය දෙකක් ගතවුණත් අවශ්‍ය නම් පැය භාගයකින් සැත්කම නිම කරන්න තිබුණා. එහෙම උනානම් රෝගියා බොහෝ අපහසුතාවලට පත්වෙනවා. අඩුම තරමින් මාස දෙක තුනක්වත් රෝහලේ ඉන්න ඕන. නමුත් කොදු ඇට පෙලේ අස්ථි නොකපා සැත්කම සිදුකිරීම නිසා රෝගියා දින දෙකකින් රෝහලෙන් බැහැරව ගියා. එසේ නොවුනා නම් රජයට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. තවද රෝගියාට මෙන්ම රෝගියාගේ ඥාතීන්ටද මෙය විශාල කරදරයක් වෙනවා යැයිද වෛද්‍ය අත්තනායක මහතා තවදුරටත් සඳහන් කළේය.

මේ සැත්කමට මුහුණ දුන් ඒ.එච්. සුනිල් නැමති පනස් හතර හැවිරිදි එක්දරු පියා බද්දේගම වෑනියරවෙල පදිංචිකරුවෙකි.විස්මිත සැත්කමක් මගින් මේ රෝගියාගේ සුසුම්නාව ආශ්‍රිතව තිබූ සැරව ගෙඩිය ඉවත් කිරීමේ පුවත දැනගත්විට අපි ඔහුගේ නිවස සොයා ගියෙමු. එහිදී සැත්කමට මුහුණදුන් සුනිල් ඉතා නීරෝගීව සිටින අයුරු දැකගන්නට ලැබුණි.

සුනිල් තම රෝගය පිළිබඳ මෙසේ තොරතුරු හෙළි කළේය. මගේ බිරිද විදේශ රැකියාවකට ගොස් සිටිනවා. අපට එක දුවෙක් පමණක් ඉන්නවා. මීට අවුරුදු දෙකකට පමණ පෙර මගේ තුනටියේ වේදනාවක් ආවා. ඊට පසු පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. නමුත් සුවයක් ලැබුණේ නැහැ. වේදනාව තිබුණත් මම දිගටම පෙදරේරුවෙකු වශයෙන් රැකියාව කළා.

රෝගය වැළදී වසර එකහමාරක් පමණ මම වේදනාවෙන් පීඩා විදිමින් සිටිනවිට මගේ දුව අනතුරකට මුහුණපා රෝහල් ගතකළා. ඊට පසු දුව බැලීමට මම රෝහලට ගොස් රෝගීන්බැලීමට යාම සදහා ගේට්ටුව අරින තුරු රැදී සිටියා. ඒ වේලාවේ එක්වරම මගේ කකුල් පණ නැති වී බිම වැටුණා. ඒ සමඟම කලාන්තයක් හැදුණා. එවිට මගේ බෑණා බද්දේගම දිසා රෝහලට රැගෙන ගියා. එහිදී මස්පිඩු පෙරලීමක් කියා බෙහෙත් දුන්නා. නමුත් සුවය ලැබුණේ නැහැ. මාස දෙකකට පමණ පසු වේදනාව ඉවසිය නොහැකි තරමට අසාධ්‍ය වුණා. ඊට පසු කරාපිටිය රෝහලට ඇතුලු කළා. එහිදී විශේෂඥ වෛද්‍ය දිපාල් අත්තනායක මහතා මගේ රෝගය පිළිබඳ දිගින් දිගටම පරීක්ෂණ පවත්වා අවසානයේ මේ සැත්කම කළා.

සැත්කම කළොත් මා ඔත්පල වනබව කීපදෙනෙක්ම කිවා. ඒ නිසා මම හරි බයෙන් හිටියේ. නමුත් දෙවියෙක් වැනි දීපාල් අත්තනායක දොස්තර මහත්තයාට පින්සිද්ධ වෙන්න මම විදපු වේදනාවෙන් නිදහස් වුණා. දැන් හරිම සැහැල්ලුවක් දැනෙන්නේ. තව දින කීපයකින් මම මගේ රැකියාවට යාමට බලාපොරොත්තු වනවා යයිද සුවය ලබා සිටින සුනිල් මහතා අප සමඟ පැවසීය.
 
Top