මගේ පෙම්වතා නව පරපුරේ නළුවෙකුටත් වඩා කඩවසම් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

උපේක්ෂා තම ජීවිතයෙ අලුත් වෙනස ගැන කතා කරයි

පහුගිය දිනවල උපේක්ෂා ස්වර්ණමාලි ගැන අලුත්ම පුවතක් දැනගන්නට ලැබුණා. ඒ තමයි උපේක්ෂා පෙම්වතියක් වූ පුවත. ප්‍රථම විවාහය කටුක විදියට නිමාවීම නිසා හුදකලා දිවියක් ගෙවූ උපේක්ෂා විවාහය ගැන විමසූ ඇතැම් අවස්ථාවල කතා කළේ දැඩි කලකිරීමෙන් යුතුව. ඒත් කඳුළ සුසුම සදාකාලික නැහැ. අපි හැමෝම කැමතියි දුක් තැවුල් පිසලා හිනාවෙන්න. උපේක්ෂාත් උත්සාහ කරන්නේ අලුත් තැනකින් ජීවිතය අරඹන්න.  ඒ පිළිබඳ උපේක්ෂා පුවත්පතකට පවසා තිබුණේ මෙලෙසින්.


උපේක්ෂා නැවතත් පෙම්වතියක් වුණේ කවද ඉඳලද?
හරියටම කියනවා නම් නොවැම්බර් මාසේ 4 වැනිදා ඉඳන්.

ඒ සුන්දර දවස ගැන දැනගන්න උපේක්ෂාගේ රසික හිතවතුන් කැමති වේවි.

ඔහු මගෙ සමීප කෙනෙකු හරහා මට විවාහ යෝජනාවක් ගෙනත් තිබුණා. මගේ අම්මගෙත් කැමැත්ත ලැබුණා. ඒ හින්දා මමත් මගෙ කැමැත්ත ප්‍රකාශ කළා. ඒ ඔය කිව්ව දවසේ.

ඔහු ගැන විස්තර කියන්න කැමති නැද්ද?
ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ කෙනෙක්. කලාවටත් දේශපාලනයටවත් කිසිම සම්බන්ධයක් නැහැ. නම් ගම් සහිතව වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

අතීත සිදුවීම් එක්ක විවාහය ගැන කලකිරීමෙන් හිටි උපේක්ෂාගේ හිත වෙනස් කළ ඔහු සතු විශේෂතා මොනවාද?
ඇත්තටම මගෙ හිත වෙනස් කළේ මගෙ අම්මා. කවදාවත් විවාහ නොවී ඉන්න අවශ්‍යයි කියල මම මගෙ අම්මට කියපු අවස්ථාත් තිබුණා. ඒත් අම්මා නිතරම මාව විවාහයකට උනන්දු කළා. අම්මා නැති කාලෙක මම තනිවෙනව නේද කියල අම්මා මට කිව්වා.
ආයෙම ජීවිතය අරඹන්න මගෙ හිත සකස් කළේ අම්මා. ඒ විදියට හිත හැදුණු පසුව තමයි “එයා” හමුවුණේ. මා කැමති විශේෂතා ඔහු තුළ තිබුණා. ඉතින් මට හිතුනා මේ පුද්ගලයාට කැමැත්ත දෙන්න ඕන කියලා.

මොනවාද උපේක්ෂා කැමති ඔහු තුළ තිබූ විශේෂතා

මට වඩා දැන උගත්, මට වඩා වයසින් වැඩි, ජීවිතය ගැන මට වඩා ගොඩක් අවබෝධය තියෙන කෙනෙක්. අපි දෙන්න අපි දෙන්නගෙ අතීතය ගැන විවෘතව කතා කරනවා. එයා හොඳ ඇහුම්කන් දීමක් වගේම තේරුම් ගැනීමක් ඇති කෙනෙක්. ඒ වගේම හොඳට කතා කරන්න, ඕනෑම දෙයක් පැහැදිලි කරන්නත් දන්න කෙනෙක්.
ඒ වගේම ඔහු ගොඩක් ප්‍රියමනාප පෙනුමක් තියෙන කෙනෙක්.

කාලෙකට ඉහතදී එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී උපේක්ෂා පවසලා තිබුණා කවදා හරි තෝරාගන්නෙ අකලංක වගෙ කෙනෙක් බව. ඔහු අකලංක වගේද?
(හිනැහී) ඒ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී මම විහිළුවට කියපු කතාවක් තමයි ඒ. නමුත් පස්සේ ඒ කතාව ලොකුවට ඇදිලා ගියා. මගෙ පෙම්වතා අකලංක වගේද කියන ප්‍රශ්නයට දෙන්න තියෙන උත්තරේ නම් ඒ දෙන්නා එකිනෙකට ගොඩක් වෙනස් චරිත දෙකක් කියන එක. බාහිර පෙනුම ගැන කියනනවා නම් එයා අකලංකට වඩා උසයි. අකලංකට වඩා කඩවසම්.

ඔහුගේ කඩවසම් බව හේමාල්, රොෂාන්, සාරංග, සුරාජ් ඇතුළු අද පරපුරේ නළුවන් සමග සංසන්දය කළොත්?
(හිනැහී) කඩවසම් බවින් එයා ඒ සෑම දෙනාටම වඩා ඉදිරියෙන් ඉන්නවා.

එහෙනම් මතු දවසක නළුකමට එකතු වෙයිද දන්නෙ නැහැ.
පාසල් වියේදී වේදිකා නාට්‍යයක රඟපාලා තියෙනවලු. නමුත් රඟපාන්නවත් දේශපාලනය කරන්නවත් කිසිම අදහසක් නෑ කියල තමයි කියන්නේ. සාමාන්‍ය වෙලාවට ගීයක් මුමුණන විට වුණත් අපිට කෙනෙකුගේ ගායන කුසලතා තේරුම් ගන්න පුළුවන් නේ. ඔහුට ඉතා හොඳ ගායන හැකියාවකුත් තියෙන බව මට දැනිල තියෙනවා. ඒත් ඒ එක දෙයක්වත් දියුණු කරගන්න එයා කැමති නැහැ.

ඇයි ඒ?
එයා ප්‍රසිද්ධියට කැමති නැහැ. මට මුලදිම කියපු දෙයක් තමයි කලාවේ හෝ දේශපාලනයේ උත්සවවලටවත් මාත් එක්ක එකතු වන්නෙ නැහැ කියන එක.


උපේක්ෂාගේ කලා ජීවිතයටයි දේශපාලන ජීවිතයටයි මතුදාක විරෝධතා එල්ල වේවිද?
නැහැ. මම කලාවේ ඉන්නවටයි දේශපාලනය තුළ ඉන්නවටයි ඔහු කැමති.

ඔහුත් ඔබ වගේම ආදරයේ දුක අත්විඳලා තියෙනවද?
ඔව්. ප්‍රේම සම්බන්ධතාවයක් හින්දා ඒ විදියේ අත්දැකීම් ඔහුටත් තියෙනවා. අපි දෙන්න ගෙ විශේෂත්වය තමයි හැමදේම විවෘතව කතා කරන එක. ඒ පුරුද්ද මට ඇතිවුණේ එයාගෙන්.

මොනවද ඒ විදියට කතා කරන්නේ.
(හිනැහී) එයා මගෙන් ඇහුවා මම කේන්ති ගියාම මොකද කරන්නෙ කියලා. මම ඒකට නිවැරදි උත්තරේ දුන්නා. ඒ විදියට අපි දෙන්න අපි දෙන්න ගැන හැමදේම කතා කරනවා. දැන් බය නැතුව පළමු රණ්ඩුවට යන්න පුළුවනි.

තවම දෙන්න රණ්ඩු වෙලාම නැද්ද?
(හිනැහී) තවම අපේ සම්බන්ධයට මාස දෙකක්වත් නැහැනේ. අපි මේ බලාගෙන ඉන්නේ අපේ පළමු රණ්ඩුව කවද්ද ඒ අවස්ථාවට අපි කොහොම මුහුණ දෙයිද කියන එක.

හැමෝම සාමකාමී ජීවිත අපේක්ෂා කරද්දී උපේක්ෂා විතරක් මොකද මේ පළමු රණ්ඩුවට හීන මවන්නේ.

දෙමාපියෝ, දරුවො, යාළුවො, පෙම්වතුන් අපි කොයි කා අතරත් අඬදබර ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. වැදගත් වන්නේ ඒ අවස්ථාවට මුහුණ දෙන විදිය. ඒ අනුව තමයි සම්බන්ධතාවය ඉදිරියට ගොඩනගාගන්නේ. පෙම්වතුන් අතර ඇතිවන ගැටුමත් ඒ අය වෙන් කරන අවස්ථා තියෙනවා. ඒ වගේම ගැටුමක්් ඉවර වුණාට පසුව දෙන්නට දෙන්න අතර තියෙන ආදරේ වැඩිවන අවස්ථාත් තියෙනවා.

දැන් කවද්ද ඔය දෙන්නගෙ විවාහය සිදුවන්නේ
ඇතැම් විට ලබන වසරේ දී විතර.

ආරියවංශ කුලතිලක
 
Top