අතීතය හාරන්නේ ඇයි?- මාත් අතීතය අමතක කළානේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අතීතය තවදුරටත් හාරා අවුස්සමින් ප්‍රශ්න ඇති නොකර අමතක කිරීමෙන් හා සමාව දීමෙන් ගැටලුවලට විසඳුම් සෙවීම වැදගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් පවසයි.
පොදුරද සමුළුවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉකුත් 16 වැනිදා කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී මුරලිදරන් හමුවිය.
එහිදී උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කැමරන් අගමැතිවරයා නොමඟ යවා ඇති බව මුරලිදරන් පවසා තිබුණි.
මේ අතර මුරලිදරන් පොදුරද සමුළුව වාර්තා කිරීමට පැමිණි චැනල් ෆෝ මාධ්‍යවේදීන් කණ්ඩායම සමග ද සම්මුඛ සාකච්ඡාවක නිරත විය.

එහිදී චැනල් ෆෝ මාධ්‍යවේදී ජොන් ස්නෝව්ට මුරලි කියා සිටියේ යුද්ධය යනු දෙපාර්ශවයක ගැටුමක් බවයි.

යුද පිටියේදී ඕනෑම දෙයක් විය හැකි නමුත් එම කාලයේ වූ ගැටුම ගැන කිසිවෙකුටත් නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවත් මුරලිදරන් පවසා තිබේ.

තවද බ්‍රිතාන්‍ය අගමැති කැමරන් මහතා මීට පෙර යාපනයේ සංචාරය කර නැති බවත් උතුර ගැන විවිධ ප්‍රකාශ කළද ඔහුට එහි තත්ත්වය බලා ගැනීමට අවශ්‍ය නිසා එහි සංචාරය කළ බව පෙන්වාදුන්නේය.

යුද්ධයේදී අතුරුදහන් වූ ඥාතීන් සොයාදෙන ලෙස ඉල්ලමින් එහිදී උතුරේ වැසියන් පිරිසක් කැමරන් අගමැතිට පෙනෙන ලෙස උද්ඝෝෂණ කළේය.

කෙසේ වෙතත් මුරලිදරන් පවසන්නේ කාන්තාවන් 20 -30ක් මෙලෙස ඡායා රූප පෙන්වමින් හඬා වැටුණද එය සත්‍යයම විය නොහැකි බවයි.

“ ඔබ දන්නේ නෑ මොකද මේ මිනිස්සු පවා නොමඟ යවලා වෙන්න පුළුවන්” යැයි චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට උත්තර දුන් මුරලි මේ නිසා සත්‍යය සෙවීම ඉතා අපහසු යැයි කියා තිබේ.

ටෙස්ට් තරඟවලදී කඩුලු 800ක් දවාගත් මුරලිදරන් පවසා ඇත්තේ තමන් සහන කටයුතු පවා සිදුකරනුයේ එම මිනිසුන්ට අතීතය ගැන සිත සිතා ඉන්නවාට වඩා යහපත් ජීවිතයක් උරුමකර දීමට බවයි.

“ඇයි අතීතය හාරා අවුස්සන්නේ හා තවත් සතුරන් ඉන් ඇති කරන්නේ” සිය ප්‍රතිපත්තිය බව හෙතෙම පවසා ඇත.

ගිය දේ ගිය බවත් තමාට පවා 1977 වසරේදී කැරලිවලදී පීඩා විඳීමට සිදුවූ බවත් එකල සිය නිවස පවා ගිනි ගත් බවද ඒ නිසා තමන් අතීතය ගැන නොසිතන බවද මුරලි වැඩිදුරටත් පෙන්වාදී තිබේ.‍


 
Top