මුහුදේ පාවෙන දැලක්‌ ගන්න ගිහින් රළකට හසුවෙලා මියගිය ජයශාන්ත | Gossip lanka news Sinhala News Sinhala Cinema News

හිරු සැඟව ගියේ මහමූසල සැඳෑවක්‌ ඉතිරි කරමිනි. අනේ මගේ ''ජයා'' අද මම තනි වුණා. මේ දරුවො දෙන්නට කෝ සෙනෙහෙවන්තකමින් යුතු පියෙක්‌. අපේ තාත්තා කතා කරන්නේ නැහැ. අනේ තාත්තේ කතා කරන්නකෝ ''ජයා'' ඇයි අද අපිට මෙහෙම දුකක්‌ දුන්නේ. ''ජයා'' ගේ මිතුරන්ද ඒ හඬමින් නගන විලාපයකි.
මෙලෙස ඇසුණේ බෙන්තොට අංක 164, රොබෙල්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි පසුගිය 14 දා සන්ධ්‍යාවරුවේ මහ මුහුදේ දියරළක්‌ සමග පොරබැද අවසානයේ දිය රකුසාගේ බිල්ලක්‌ බවට පත්වූ 37 හැවිරිදි තරුණ වයස පසුකලා පමණක්‌ වන පියකුගේ ඉරණමේ ප්‍රතිඵල භුක්‌තිවිඳිනා බෙන්තොට ප්‍රදේශයෙනි.

තැනක ඔහුගේ බිරිඳ වාවාගත නොහැකි සොවින් නොනවතින කඳුළින් තැවේ. තවත් තැනෙක ඒ අසලටම වී දියණිය හා පුත්‍රරත්නය වැළපෙනු දුටිමි. ඔහුගේ මව මෙන්ම එකට සැම දුක සැප බෙදාගනිමින් කල් මැරූ මිතුරු කැළද පසුවුණේ එවැනිම දුකිනි. මොහු නමින් චමින්ද ජයශාන්ත ජයවික්‍රම හෙවත් කාගෙත් ආදර නාමය ලද ''ජයා'' වේ. උපන් ගමේ ආදර කරුණාව ලද මොහුට

කාගෙත් ආදරය හිමිවූයේ දක්‍ෂතා කිහිපයකින් හෙබි හොඳ හිතක්‌ ඇති අයකු ලෙස කල් ගෙවූ නිසා බව වැටහිණි. චමින්ද ජයශාන්ත ජයවික්‍රම මීට වසර 09 ට පෙර විවාහවී ඇති අතර වැඩිමහල් පුත් ලෙසඳු මනීෂ ජයවික්‍රම (09) හා බාල දියණිය වන උවන්ගනා හිරුණි ජයවික්‍රම (21/2) දෙදෙනාගේ ආදරයට පාත්‍ර වුණු පීතෘරත්නය වීය.

මෙම මස නොවැම්බර් මාසය ''ජයා'' ට සහ ඔහුගේ පවුලට ඉතාම වැදගත් මාසයක්‌ වූ අතර අවසානයේ අවාසනාව කැන්දාගෙන ආ මාසයද එයම විය. චමින්ද ජයශාන්තගේ උපන්දිනය යෙදී තිබුණේ ඊයේ (18 දා) දිනටය. ජයවික්‍රමගේ බිරිඳගේ උපන් දිනයද මෙම 24 දාට යෙදී ඇත. ජයවික්‍රම අලුතින් නිවසකට පදිංචියට ගියේද මෙම මස 13 දාය. ජයවික්‍රමගේ මල්ලීගේ විවාහය සිදුවූයේ මෙම මස 01 දාය. ජයවික්‍රම වැඩිමහල් දරුවා වූ ලෙසඳු මනීෂ 09 වැනි උපන්දිනය සැමරීමට බලාපොරොත්තු වූයේද මෙම මස 15 දාය. නමුත් කරුමයක මහත. තම පුතාගේ උපන් දිනයදා තෑගි ගෙන දීමට සිතා බලාපොරොත්තු පොදි බැඳ සිටි පියා එම 15 දින ගෙදරට ආවේ සුදු කළුÊවර්ණයෙන් සැරසී ජීවය වාතලයට මුදාහල මෘත දේහයක්‌ ලෙසිනි.

අද ගමම සොවින් පසුවේ. හඬමින් වැළපෙමින් සිටි ඔහුගේ බිරීඳ කඳුළු වගුරවමින් මෙසේ කීවාය. 14 දා දහවල් දොළහට විතර මුහුදු වෙරළට යනව කියල ගියා. එයා පුරුද්දක්‌ හැටියට නිතර වෙරළට යනව. නමුත් දවල් කෑම කන්න ආවේ නැහැ. මම කෝල් 08 ක්‌ ගත්ත ඒත් කතා කළේ නැහැ. පසුව මම රේල්පාර අසලට ගිහින් වෙරළ දිහා බලන් ඉඳලා ආපසු ගෙදර ආවා පුතාට බඩගිනි නිසා කෑම බෙදලා දෙන්න. එතකොට 1.30 - 2.00 අතර විතර වෙන්න ඇති පසුව මා ආපසු ගියා වෙරළ දෙසට. මම අඳුරන මල්ලි කෙනෙක්‌ගෙන් ඇහුව ඒ පැත්තේ කලබලයක්‌ තියනව පේනව ඒ මොකක්‌ද කියලා. ඒ මල්ලි කිව්වා කවුද මුහුදෙ ගිහින් කියල. පසුව මම නැවත නැවත සොයලා බැලුවාම ආරංචි වුණා ''ජයා'' මුහුදෙ ගහගෙන ගිහින් කියලා. මට කරකියා ගන්න දෙයක්‌ නැතිව ගියා. එයාට හොඳට පීනන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් නොසිතපු දෙයක්‌ වුණේ. මගේ මහත්තය දැකලා තියනව මුහුදේ දැලක්‌ පාවෙනවා. ඒක අරගන්න පීනගෙන ගිහින් තමයි දිය රළකට අහුවෙලා තියෙන්නෙ. පසුව කයිකාවල ප්‍රදේශයෙන් තමයි එයාව ගොඩට ගහගෙන ඇවිත් තිබුණේ.

මගේ උපන් දිනය ලබන 24 දාට යෙදිල තිබෙනවා. එයා ගොඩක්‌ යහළුවන්ට කියල තියනව එදාට පාටියක්‌ දානවා කියලා. ඒ බව මම දන්නෙවත් නැහැ.

''මගේ ජයාට හොඳට පීනන්න පුළුවන්. ඒ නිසා මුහුදේ ගහගෙන ගිය විදේශීය දේශීය අය වගේම කැස්‌බෑවුන් පවා එයා පීනගෙන ගිහින් බේරල තියෙනවා. නමුත් එදා එයාව බේරගන්න දෙවියන්ටවත් බැරිවුණා. එයා හිත හොඳ කෙනෙක්‌, කෑම කන වෙලාවට කවුරු ආවත් කන පිඟාන වුණත් දෙන කෙනෙක්‌. නැව් හදන්න පුළුවන්. වාහන ගෑස්‌ ලිප් වගේ කාර්මික වැඩ වුණත් පුළුවන්. එයා දක්‍ෂයි. අනේ අද මම දරුවො දෙන්නත් එක්‌ක තනිවුණා.

දයාවතී හෙට්‌ටිආරච්චි මවට උපන් පවුලේ දෙවැනියා වූ ජයශාන්ත ජයවික්‍රමට අයියා, මල්ලී සහ නංගී කෙනකු සිටින නමුත් අද ඒ හැමට ජයශාන්ත නැත. ඔහු මෙතරම් දක්‍ෂකම් හෙබි අයකු වුවද සංචාරක ව්‍යාපාරයෙන් තම දිවිය රැකගනිමින් අහිංසක දරුපවුල දිරිමත් කළ හෙතෙම මහ මුහුද මිතුරු වූවා සේම පසුගිය 14 දා නම් සතුරු වූ බව නිසැකය. ඔහු දක්‍ෂ පිහිනුම්කරුවෙක්‌ වුවද දිය රකුසා ලෙස පැමිණි මාරයා සමග පොරබැදීමට සමත් නොවීම නිසා පෙනහළු සිසාරා මුහුදු වැලි ගමන් කරන තරමට ඔහු සටන් කළද අවසානයේ නිවසට ආවේ නිහඬ ජයශාන්තගේ මෘත දේහය පමණි. මෙම සිදුවීම කනවැකුණු කවුරුත් ඔහුට ගෞරව කිරීමට නිවෙස වෙත පැමිණෙමින් සිටි අතර 17 දා සන්ධ්‍යාවේ මළ හිරු බැසයත්ම ඔහු සැමට ගෞරව කරමින් සමුදීමට සූදානම්ව සිටියේය. 


දර්ශන කරුණාරත්න
 
 
Top