බත් කමින් සිටි පාසල් සිසුවාට ගුරුවරයා කන පැලෙන්න ගහලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ලන්ච් ෂීට් එකක බත් ගෙනාවැයි 
කන පැලෙන්න ගහලා

අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයකු එම විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පසුගිය සිකුරාදා (01දා) දහවල් පාසල තුළදී දිවා ආහාරය ගනිමින් සිටින අවස්‌ථාවේ කන පැලෙන්න පහර දුන් බව කියන සිද්ධියක්‌ වාර්තා වෙනවා.

එම පහරදීමට හේතුව සිසුවා විසින් තම දිවා ආහාර සඳහා බත් ඔතාගෙන පැමිණ ඇත්තේ කෑම ඔතන පොලිතින් කොළයක (ලන්ච් ෂීට්‌) වීම බවයි පැවසෙන්නේ.

ගුරුවරයාගේ පහර කෑමට ලක්‌වූ නිමන්ත ඩිල්ෂාන් සෙනෙවිරත්න නමැති සිසුවා මේ වන විට පොලොන්නරුව මහ රෝහලේ අංක 19 දරන වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ කර්ණ පටහාපටලය හෙවත් කන් බෙරය පුපුරා ගොස්‌ ඇතැයි ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසනවා.

පාසල් පරිශ්‍රය පිරිසිදුව තබාගැනීමේ අරමුණින් පාසල තුළට පොලිතින් වර්ග රැගෙන ඒමේ තහනමක්‌ පනවා තිබෙන නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට දඬුවම් දීමට ගුරුවරුන්ට උපදෙස්‌ දී නැතැයි විලයාය මහා විද්‍යාලයේ විදුහල්පති සුත් රණසිංහ මහතා ප්‍රකාශ කළා.

පසුගිය සිකුරාදා (01දා) දහවල් බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා විසින් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු නමුත් ඒ හේතුවෙන් සිසුවාගේ කන පැලී තිබෙන බව තමන් නොදැන සිටි බවද ඔහු පැවසුවා.

පහරදීම සිදුකළ බව කියන ගුරුවරයාගෙන් අරලගංවිල පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත්, එම ගුරුවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ කළහ.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සරත් කුමාර ජෝශප් මහතාගේ උපදෙස්‌ පරිදි අරලගංවිල පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් රාජමන්ත්‍රී මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වේ.

 
Top