විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැකියි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

එක්සත් ජාතික පක්ෂය අනෙකුත් පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එක්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හැකියාවක් පවතින බවට තමන් විශ්වාස කරන බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියන් මේ බව පවසා තිබේ.

තම සංවිධානය ප්‍රවීණ නීතිවේදීන් විසින් දීර්ඝ කාලීනව සිදු කළ සාකච්ජාවක් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් මේ වන විටත් එළිදක්වා ඇති බව සෝහිත හිමියන් මෙම ලිපිය මගින් පෙන්වා දෙයි.

එමෙන්ම මෙම කෙටුම්පතට මහනායක හිමිවරුන් ඇතුළු අන්‍ය ආගමික පූජකවරුන්ගේ ආශිර්වාදය ලැබී ඇති බවද සෝහිත හිමියන් සදහන් කර ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට සියලු පක්ෂ සහ නායකයින් ලිඛිතව හා වාචිව එකඟතාවයන් පළ කර ඇති හෙයින් වර්තමාන රජය තුළින්ම මෙය අහෝසිකර ගැනීම සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ උත්සාහය බව ද මාදුළුවාවේ සෝහිත හිමියන් එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


 
Top