කරන්දෙණිය, අඟුලුගල්ල, නවදගල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි. සැමියාගේ වයස අවුරුදු 59 කි. බිරිඳගේ වයස අවුරුදු 57 කි. ඔවුන් දෙදෙනාගේ දරුවන් විවාහවී සිටිති. එබැවින් නිවසේ ජීවත්වූයේ ඔවුන් දෙදෙනා පමණකි. දිනක් බිරිය කරන්දෙණිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළාය.
එනම් තම සැමියා තමන් තනිකර දමා නිවසින් බැහැරව ගොස් ඇති බවයි. කෙසේ හෝ තම සැමියා නිවසට ගෙන්වා දෙන ලෙස ඇය පොලිසියට කන්නලව් කළය. සැමියා සිටින ස්ථානයේ තොරතුරු ලබා ගත් අපරාධ පරික්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජිත ජයන්ත මහතා පැමිණිල්ල විභාග කිරීම සඳහා නියමිත දින පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇය නිවසට යවා ඇත. පසුව නියමිත දින සැමියාට ද පොලිසියට පැමිණෙන ලෙස දන්වා යවා තිබිණි.
නියමිත දිනයේ අඹුසැමියන් දෙදෙනාම පොලිසියට පැමිණ ඇත. පොලිස් පරික්ෂකවරයා පළමුවෙන්ම සාක්ෂි විමසා ඇත්තේ සැමියාගෙනි. එහිදී සැමියා පවසා ඇත්තේ තමා බිරිය හැර දමා යාමට පෙර දින අඹු සැමියන් ලෙස එක් වීමට උත්සාහ කළත් බිරිය තමාට මන්ත්‍ර ගුරුකමක් කර ඇති බැවින් එසේ එක් වීමට අපහසු වූ බවයි. එහෙත් බිරිය මෙහිදී කියා ඇත්තේ, තමන් සැමියාට මන්ත්‍ර ගුරුකම් කළේ නැති බවයි. තමන්ටත් අඹු සැමියන් ලෙස හැසිරීමට අවශ්‍ය බවත් සැමියා නොමැතිව ජීවත් වීමට නොහැකි බවත් ඇය පසුව අනාවරණය කර ඇත. මෙහි දී සැමියා පවසා ඇත්තේ සැකය නිසා මෙම තත්වයට පත්වූ බවයි. බිරිය තමාට කොඩි විනයක් කර ඇතැයි තමා සැක කිරීම නිසා අඹු සැමියන් ලෙස එක්වීමට නොහැකි වූ බවද ඔහු පවසා තිබේ. සියලුම සැක සංකා පොලිසියේ දී දුරුකර ගත් අඹු සැමි යුවල නැවත කිසිම දිනෙක වෙන්වී නොයන බවට ගිවිස ගෙන තිබිණි. පසුව දෙදෙනාම පොලිසියෙන් පිටව ගොස් ඇත්තේ අළුත විවාහ වූ තරුණ යුවලක් ‘මධු සමය’ ගත කිරීමට යන ආකාරයටය. කරන්දෙණිය පොලිසිය පරික්ෂණ සිදු කොට තිබිණි.