චිත්‍රපට විකුණගන්න ඇඳුම් ගලවන්න මම සූදානම් නෑ... | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඇය රංගනට කෝඩුකාරියක්. නිහාල් බණ්ඩාර අධ්‍යක්‍ෂණය කළ 'සීමා නෑ ආකාසේ' චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අෑ නමින් අරුණි මල්ලවආරච්චි. අරුණි පුවත්පත් මාධ්‍යවේදිනියක්. ඒත් අද ඇය හදගැස්මට ළෙන්ගතු වුණේ ඇගේ රංගන ජීවිතය ගැන කතා කරන්න...

මාධ්‍යවේදිනිය නිළියක් වෙලා... කාලෙක ඉඳන් දැකපු හීනයක්ද මේ සැබෑ වුණේ...?
නෑ... මම හීන දැක්කේ මාධ්‍යවේදිනියක් වෙන්න. හිතන දේවල් නොවෙන එකයි නොහිතන දේවල් වෙන එකයි වළක්වන්න අපිට බෑනේ...

ඔය කියන්න හදන්නේ නිළි හීනෙ තිබුණේ නෑ කියලද?
ඔව්... මම මාධ්‍යවේදිනියක් වෙන්නත් කලින් නර්තන ශිල්පිනියක් වුණේ. හැබැයි පුංචි කාලේ චිත්‍රපටවල නැටුම් දකින කොට ඒ විදියට නටන්න ලොකු තිරයක මම නටනවා බලන්න නම් ආසාවෙන් හිටියා... ඒත් නිළියක් වෙන්න ඕනෑකමක් තිබුණෙම නෑ...

එතකොට නිළියක් වුණේ අහම්බෙන්?
මීට කලිනුත් මට රංගනයට ආරාධනා ආවා... ඒත් නිළියක් වෙන්න ඕනෑ කමක් නොතිබුණ නිසා ඒ අවස්ථා මඟ හැරියා... "සීමා නෑ ආකාසේ" චිත්‍රපටයට මට කතා කළේ මගේ යාළුවෙක්. ප්‍රධාන චරිතෙට නෙවෙයි උප ප්‍රධාන චරිතෙකට. චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙට ගන්න ඉඳලා තියෙන්නේ කේරළයේ නිළියක්. ඒත් ඒ අවස්ථාව මඟ ඇරිලා අධ්‍යක්ෂවරයා ප්‍රධාන චරිතෙට නිළියක් හොයලා. ඔය අතරේ තමයි මගේ යාළුවා උප ප්‍රධාන චරිතෙට මගේ ර්ථීඩධබධ එකක් පෙන්නලා තියෙන්නේ... අලුත් මූණක් සහ අධ්‍යක්ෂවරයාගේ හිතේ ඇඳුණ රූපයක් කියලා තමයි ප්‍රධාන චරිතෙට ආරාධනා ආවේ.

ලැබිච්ච හැම ආරාධනාවක්ම ප්‍රතික්ෂේප කරලා "සීමා නෑ ආකාසේ"ට කැමැති වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
අධ්‍යක්ෂවරයා ඇවිත් කතා කළාම පිටපත කියෙව්වම මට කැමැත්තක් ඇති වුණා...

ඒත් පළමු චිත්‍රපටයටම සීමා මායිම් පැනවිලා නේද?
ඔව්නේ... චිත්‍රපටයට වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් වෙලා.

එහෙම ලේබල් ඇලවෙන්න හේතුවක් තියෙන්න ඕනෑනේ...
ආදර කතාවක් වුණාට සිප වැලඳ ගැනීමේ දර්ශනයක් වත් තිබුණේ නෑ... තිබුණ එකම හේතුව සිය දිවි නසා ගැනීම විතරයි.

ඒ විදියේ ලේබලයක් ඇලවීම ගැන කනගාටුවෙන්ද ඉන්නේ...?
මට ඒ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ක්ෂේත්‍රයේ ඉන්න අයට තේරුම් ගන්නත් පුළුවන්. ඒත් සාමාන්‍ය මිනිස්සු ඕක තේරුම් ගන්නේ වැරැදි විදියට... වඩාත් හැලිලා වැඩිහිටියන්ට සුදුසුයි කියන එකයි එයාලගෙ ඔළුවට එන්නේ... ඒ විදියට චිත්‍රපටය දිහාත් මා දිහාත් බලනවාට මම කැමැති නෑ.

චරිතාංග නිළියක් වෙන්න නම් සීමා මායිම් පනවාගෙන බෑනේ?
වාණිජ පරමාර්ථයෙන් කරන චිත්‍රපට විකුණන්න ඇඳුම් ගලවන්න නම් ලෑස්ති නැහැ මම.

හොඳ චරිතයක් ලැබුණත් ඉදිරියේදී වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට දායක වෙන්නේ නැද්ද?
ඔව්... චරිතෙ කොයි තරම් හොඳ වුණත්, ඒ කරන්නේ කැමරාව ඉදිරියේ රඟපෑමක් විතරක් වුණත්, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්න හිත හදා ගන්න බෑ... මොකද මම ගමක කෙල්ලෙක්. මම නිසා මගේ මවුපියන් අපහසුතාවට පත් කරන්න බෑනේ...

සීමා නෑ ආකාසේ චිත්‍රපටය භාර ගනිද්දි ඒ චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා දැනගෙන හිටියේ නැද්ද?
නෑ... දැනගෙන හිටියා නම් භාර ගන්නෙත් නෑ... කාණ්ඩ ගත වීම වෙන්නේ රූගත කළාට පස්සෙනේ...

නිළියක් වෙන්න ගත්ත තීරණය ගැන පසුතැවෙනවාද?
මේ තීරණේ විතරක් නෙවෙයි මගේ ජීවිතේ ගත්ත කිසිම තීරණයක් ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ...

අහම්බෙන් හරි නිළියක් වුණානේ... සීමා නෑ ආකාසේ චිත්‍රපටය පළමුවැනි සහ අවසාන නිර්මාණය නොවේවිනේ...?
දැන් නම් මටත් රඟපාන්න ආසාවක් ඇති වෙලා තියෙන්නේ... ඒත් තවම මම මගේ රංගනය දැක්කේ නෑනේ... මට මගේ රංගනය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් නම්, ප්‍රේක්ෂකයා සෑහීමකට පත් වෙනවා නම්, මට රංගනයේ ඉදිරිය ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වේවි.

රංගන ක්ෂේත්‍රය ගැන සමාජයේ ඇති ආකල්පය එතරම් සුබ නැහැ. විශේෂයෙන් තරුණ නිළියන්ට එවන් තත්ත්වය ක්ෂේත්‍රයට පය ගහන්න හිතේ පුංචි දෙගිඩියාවක්වත් තිබුණේ නැද්ද?
පොඩ්ඩක්වත් නැහැ. මට පිරිමි මැජික් නෙවෙයි. මම තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමේ අවුරුදු හතරක් හිටියා. අපි ප්‍රසංගවලට ගියා... එතැනත් පිරිමි ළමයි හිටියා. මගේ මාධ්‍ය ජීවිතේත් වැඩිපුර ගනුදෙනු කරන්නේ පිරිමි අය එක්ක. ඒ හැමෝම මට මිත්‍රයෝ සහෝදරයෝ වගේ. අනෙක් එක මට වැඩකරද්දී ලිංග බේදය වැදගත් නෑ... වැදගත් වෙන්නේ දැනුමයි හැකියාවයි. චිත්‍රපටය රූගත කරනකොටත් මුළු සෙට් එකටම හිටපු එකම ගෑනු ළමයා මම. ඒත් හැමෝම සැලකුවේ සහෝදරියකට වගේ.

ඒ ඔබ මාධ්‍යවේදිනියක් නිසා වෙන්න බැරිද?
සමහර විට වෙන්නත් පුළුවන්. මගේ රස්සාව කොහොමත් මට ලොකු රැකවරණයක්...

ඔබේ තිරයේ පළමු පෙම්වතා පුබුදු ගැනත් කතා නොකරම බැහැ...?
පුබුදු අයියාගෙන් ලැබුණු සහායට ස්තුති කරන්න මට වචන මදි. මට මගේ ආධුනික බව දැනෙන්නත් ඉඩ තිබ්බේ නෑ... සමහර දෙබස් පවා කියන හැටි කියලා දුන්නා. ඒ වගේම කැමරා අධ්‍යක්ෂ අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි අයියටත් ස්තුති කරන්න ඕනෑ...

හිමේෂා සවන්තී රාජක්‍ෂ
 
Top