නිවස තුළ වළක්‌ හාරා නිධන් සෙවූ හිටපු පොලිස්‌ කොස්‌තාපල් හා කට්‌ටඩියා දැලේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අනුරාධපුර, ගල්කුලම, කුඩා නෙළුම්කුලම ප්‍රදේශයේ පිහිටි නිවසක්‌ තුළ නිධන් හාරමින් සිටි දෙදෙනකු උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා ( 9 දා) සවස රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක්‌, කුඩා මංජුසාවක්‌ සහ මැණික්‌ ගලක්‌ බවට සැකකරනු ලබන කුඩා ගලක්‌ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් එක්‌ සැකකරුවෙකු එම නිවසේ හිමිකරුවා වන අතර කට්‌ටඩියකු ලෙස හඳුන්වා ගත් අනෙක්‌ පුද්ගලයා බදුල්ල ඇටම්පිටිය, නෙලිඅතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.


පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතාගේ සෘජු අධීක්‍ෂණය සහ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන විශේෂ වැටලීම් ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක හර්ෂ ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අදාළ වැටලීම සිදුකොට ඇත.

පොලිසිය නිවස වටලන අවස්‌ථාව වනවිටත් සැකකරුවන් විසින් ටයිල් අතුරා තිබූ නිවසේ ආලින්දයේ ටයිල් ඉවත්කොට අඩි හතරක්‌ පමණ විශ්කම්භයකින් හා අඩි දහහතාමාරක්‌ පමණ ගැඹුරට වළක්‌ හාරා වළ පතුලේ සිට නිවසේ නැගෙනහිර දිසාවට වන්නට අඩි දොළහක්‌ දිගින් යුත් උමඟක්‌ හාරා තිබූ බව පොලිසිය පවසයි.

මෙම වැටලීමේදී අඟල් තුනහමාරක්‌ උසින් සහ අඟල් දෙකහමාරක්‌ පළලින් යුත් රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක්‌, රන් ආලේපිත කුඩා මංජුසාවක්‌, දුඹුරු පැහැති කුඩා ප්‍රමාණයේ දුඹුරු රවුම් ගලක්‌, පොළොව කැණීම් සඳහා භාවිත කළ උදලු, යකඩ ඉනි, කුළු ගෙඩි, රතු රෙදි කැබලි, මල්වට්‌ටි, තාච්චි, හඳුන්කූරු, කපුරු පෙති, දුම්මල, කබල් සහ ලොරියක්‌ පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා විසින් පසුගිය ජනවාරි මාසයේ සිට නිධන් සෙවීම සඳහා දිවා රාත්‍රි දෙකෙහිම වළ හාරා ඇති බවත්, ඉන් ඉවතට ගනු ලබන පස්‌ බාහිර පුද්ගලයන්ට නොදැනෙන සේ නිවසේ කාමරයක ගොඩ ගසා තිබූ බවත් පොලිසිය පවසයි.

නිවෙස්‌ හිමිකරු හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයකු වන අතර ඔහු කලක්‌ පිටි ආශ්‍රිත ආහාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ.

පාඩු ලැබීම නිසා එම ව්‍යාපාරය අත්හැර දමා ඇති ඔහු වැටී සිටින ප්‍රපාතයෙන් යළි ගොඩ ඒම සඳහා මගක්‌ සොයමින් අනුරාධපුර හා අවට ප්‍රදේශවල දේවාල ගානේ ඇවිදිමින් සිටියදී තමන් කට්‌ටඩියකු බව හඳුන්වා ගත් අනෙක්‌ සැකකරු ඔහුට හමුවී ඇත.

කට්‌ටඩියකු බව හඳුන්වා ගත් පුද්ගලයා තමන්ට චිත්ත බලයක්‌ තිබෙන බවත්, ඒ අනුව හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ නිවසේ පොළොව යට නිධානයක්‌ තිබෙන බවත් කට්‌ටඩියා පවසා තිබේ.

එම නිධානය ගොඩගැනීමට තමාට උදව් කළ හැකි බව පවසා ඇති කට්‌ටඩියාගේ යෝජනාව අනුව ඔහු සහ අදාළ නිවසේ හිමිකරු වන හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා එක්‌ව මෙලෙස නිවස තුළ වළක්‌ හාරා නිධන් සෙවීමේ කටයුතුවල නිරතවී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
 
Top