ගුවන් යානයක රෝද කුටීරයේ සැඟව පැය 5ක ආශ්චර්යවත් ගමනක් ගිය කොලුවෙක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ගුවන් යානයක රෝද අතර හොර රහසේ සැඟවී පැය පහක පමණ ගුවන් ගමනක නිරත වෙමින් ආශ්චර්යවත් ලෙස සිය ජීවිතය බේරුණු 16 හැවිරිදි ඇමෙරිකානු තරුණයෙකු පිළිබඳ වාර්තා වෙයි.

හවායි ගුවන් සේවය පවසා සිටින ආකාරයට කැලිෆෝනියාවේ සිට හවායි දක්වා පැය පහක ගුවන් ගමනක මෙම නව යොවුන් තරුණයා ගමන් කර ඇති අතර, පසුගිය ඉරිදා දිනයේ ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසු මේ සිද්ධිය හෙළි වී තිබේ.

වහාම වෛද්‍ය පරීක්ෂණයන්ට යොමු කළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද පැවසෙයි. එමෙන්ම, FBI නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවද කියවෙයි.


තම නිවසෙන් පැනගොස් සෙන් ජෝස් ගුවන්තොටු පොළේ වැටෙන් රිංගා විත් නවතා තිබූ ගුවන් යානයක රෝද කුටීරයේ තමන් සැඟවුණු බව එම ප්‍රශ්න කිරීම්වලදී මෙම තරුණයා පවසා ඇත.

මොහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම ගැන සලකා බැලුනද, මූලික වශයෙන් නව යොවුන් තරුණයාගේ ජීවිතය ආරක්ෂා වීම වැදගත් බව බලධාරීන් පවසා තිබේ. එමෙන්ම මොහුගේ ජීවිතය මේ ආකාරයෙන් ආරක්ෂා වීම ආශ්චර්යයක්ම බව ගුවන් සේවා බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ගුවන් යානය හවායි වෙත පැමිණි පසු එහි රෝදය සහිත කුටීරයෙන් ඉවතට පැන ඇති මොහු ගුවන්තොටු පොළ පර්යන්තයේ මත වැනෙමින් එහාට මෙහාට යන විට ආරක්ෂක අංශ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

අඩි 39,000ක් ඉහළින් ගමන් කළ ගුවන් යානයේ ඔක්සිජන් නොමැතිව පැය පහකට අධික කාලයක් ගත කිරීම මෙන්ම, එතරම් ඉහළ අහසේ පවතින අධික සීතලෙන් මොහු බේරීම ගැන FBI නිලධාරීන්ද විමතිය පළ කරති.

මෙම නව යොවුන් තරුණයාගෙන් ලද තොරතුරු අනුව එම ගමනේ වැඩි කාලයක් මොහු සිහිමුර්ජා ගතියෙන් පසුවී ඇති බවද හෙළි වී තිබේ.

1947 සිට වාර්තා වී ඇති ගුවන්ගමන් තොරතුරු අනුව අවස්ථා 100කදී පමණ මේ ආකාරයෙන් යානයේ රෝද කුටීරයේ සැඟවී යෑමට උත්සාහ කළ අය පිළිබඳ වාර්තා වෙයි. මෙසේ ගිය අයගෙන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද එකී වාර්තා පෙන්වා දෙයි. 




 
 
Top