රූමතියගෙන් ලිංගික අල්ලස් ගන්නට යද්දී කොටු වූ ‍පොලිස් ලොක්කාගේ කථාව | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සෑම ‍පොලීසියකම තත්ත්වය එය නොවූවත් සමහර ‍පොලිස් ස්ථානවලට යන ඇහැට කනට පෙනෙන කාන්තාවන්ට විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිදුවන බවට කොතෙකුත් කතන්දර අහන්නට ලැබේ. මෙවැනි ‍පොලීසියකට ගිය විට එකී කාන්තාවට ලැඛෙන සැලකිලි මතෙකැයි කිව නොහැකි තරම්ය.

සමහර ‍පොලිස් නිලධාරීන් සීනි බෝතලයට ඇදෙන ඇඹලයින් මෙන් එකී කාන්තාවන් වෙත ඇදී යන්නේ මිස්, නෝනා, නංගි ආදී වශයෙන් අමතමින් කාන්තාව සමග සුහදවී ඇය ‍පොලීසියට පැමිණි කාරණාවද විමසා, ප්‍රමාදයකින් තොරව එයද ඉටුකර දෙමිනි.

සමහර අවස්ථාවල අවසානයේදී සිදුවන්නේ ‍පොලිස් නිලධාරියා තම ජංගම දුරකථන අංකය පවා ඇය අත තැබිමය. බැරි වෙලාවත් එකී කාන්තාව

එම ජංගම දුරකථනයට ඇමතුමක් ගත හොත් ඉන් එහාට ඇය වැටෙන්නේ අලි අමාරුවකය. සමහර අවස්ථාවල එකී ‍පොලිස් නිලධාරියා එම බල ප්‍රදේශයේ සේවය කරන තාක් කල් ඇයට ඔහුගේ ලිංගික වහලියක් බවට පත්වීමට පවා සිදුවිය හැකිය.

‍පොලිස් මූලස්ථානයේ තොරතුරුවලට අනුව මෙරට ඇති ‍පොලිස් ස්ථාන සංඛ්‍යාව 400කට වැඩිය. ඒ සෑම ‍පොලීසියකම පාහේ අඩුම තරමින් එවන් අසික්කිත එක් ‍පොලිස් නිලධාරියෙකු වත් සිටින බව පැවසේ. ඊට අමතරව ‍පොලිස් අධිකාරී කාර්යාලවලද, නියෝජ්‍ය ‍පොලිස්පති කාර්යාලවලද මෙවන් අධමයන් නැතුවාම නොවේ. ඒ අය තම ගොදුරු බවට පත්කරගන්නේ තම දුක කියාගෙන ‍පොලීසිවලට හෝ ‍පොලිස් කාර්යාලවලට එන අහිංසක කාන්තාවන්ය. නැතිනම් හුදෙකලා වූ කාන්තාවන්ය.


‍පොලීසියට එරෙහිව යාමෙන් පලක් නොමැති බවට ඇති පුහු මතයක් හේතුවෙන් ‍පොලිස් ගැටවලට හසුවී ‍පොලිස් නිලධාරීන්ගේ ලිංගික වහලුන් බවට පත්ව සිටින බොහෝ කාන්තාවන් ඊට එරෙහිව හඬක් නගන්නේ නැත. සියල්ල ඉවසාගෙන සිටින්නේ තම පවුල් සංස්ථාව පවා බිඳ වට්ටවාගෙනය.
එය එසේ වුවත් මහව රැකෝගම ප්‍රදේශයේ පදිංචි තිස් පස් වියැති කාන්තාවක් මෙවන් අධම ‍පොලිස් නිලධාරියකුගේ ලිංගික වහලියක බවට පත්නොවී ඊට එරෙහිව නැගී සිටියාය. ඒ මෙරට ඉතිහාසයේ පළමු වරට ලිංගික අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් කොමිසමට ‍පොලිස් නිලධාරියෙකු කොටු කර දෙමිනි.
එම නිලධාරියා මහව ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාය. ‍පොලිස් පරීක්ෂකවරයෙකු වන ඔහු ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූයේ එම කාන්තාව කුරුණෑගල වැව රවුමේ පිහිටි තානායම් කාමරයකට ඉකුත් 26දා ගෙන්වාගෙනය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් ‍පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත්තේ තානායම් කාමරයේදී ඇය සමග යහන්ගත වන්නට සූදානම් වෙද්දීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් එම ස්ථානයට කඩාවදින්නේ ඔවුන්ට ඇති දිවැස් බලයකින් නොව ඇය කල්තියා ඒ බව අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුවය.
ඇහැට කනට පෙනෙන එක් දරු මවක් වන ඇය තෙවරක්ම විවාහවී සිටින්නියකි.

පළමු සැමියා හමුදා සෙබළෙකි. ඔහු මියගොසිනි. දෙවැනි සැමියා ඇය අතහැර ගොස්ය. දැන් ඇය ජීවත්වන්නේ තෙවැනි සැමියා සමගය. ඔහු රක්ෂාව කරන්නේ ‍පොළොන්නරුවේය. ඔහු මහවට එන්නේ ඉඳහිටය. ඒ ඔහුට වැඩ රාජකාරි අධික නිසාය.
‍පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව මෙම කාන්තාව මුල්වරට මහව ‍පොලීසියට එන්නේ සිය 13 හැවිරිදි දියණියට පහරදීම සම්බන්ධයෙන් සැකකාරියක් ලෙසිනි. ඇගේ පළමු විවාහක සැමියාට දාව උපන් එම දැරියට පහරදීම ගැන ඇයට එරෙහිව ‍පොලීසි යන්නේ දැරියගේ කිරි අම්මාය. ඒ ඉකුත් අගෝස්තු

13 වෙනිදාය.
දැන් එම පැමිණිල්ල විභාග වෙන්නේ මහව මහේස්ත්‍රාත් අධිකරණයේය. දැරිය මේ වනවිට සිටින්නේ පරිවාස භාරයේය.
දැරිය සම්බන්ධයෙන් ඇයට එරෙහිව මහව ‍පොලීසියේ ලියැවුණු එම පැමිණල්ලත් සමග ඇගේ ඥාතීන් ද ඇයට එරෙහිව පැමිණිලි රාශියක්ම නොවැම්බර්, දෙසැම්බර් මාසවල මහව ‍පොලීසියට ගෙන ආවෝය. ඒ බහින්බස්වීම් ආදිය ගැනය. අවසන් පැමිණිල්ල ලියැවෙන්නේ ඉකුත් 22 වෙනිදාය. ඒ සියලු පැමිණිලි සුළු සිද්ධීන් අරභයා වූ බැවින් ඒවා විභාග කරනුයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාය. ඔහුට විභාග කළ නොහැකි වූ පැමිණිලි විසඳන්නේ මහව මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සුජීව මහතාය. ඔහුටත් විභාග කර සමථයකට පත්කළ නොහැකි පැමිණිලි විභාග කෙරෙන්නේ සමථ මණ්ඩලයේය.

මේ කුමන මොහොතකවත් ‍පොලීසියේ අපරාධ අංශය සමග ඇය මුසු නොවුණාය. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ කිසිදු මැදිහත්වීමක් ද සිදුනොවුණේය.
එහෙත් ඇහැට කනට පෙනෙන තැනැත්තියක් වූ ඇයට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඒ වන විටත් කිට්ටු කර සිටියේ ඇයට එරෙහිව ඇති පැමිණිලි විභාගයේදී ඇයට උදව් කරන මුවාවෙනි. ඒ ඇගේ ජංගම දුරකථන අංකයද ලබාගෙනය.

පරීක්ෂණවලින් හෙළිවී ඇති ආකාරයට අනුව, ඉඳහිට ඇයට ඇමතුම් දෙමින් ඇයට එරෙහිව ඇති පැමිණිලිවල තොරතුරු කතාබහ කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇයව ඔහුගේ ලිංගික වහලියක් කර ගැනීමට අවශ්‍ය මූලික පියවර ගනු ලබන්නේ අනතුරුවය. ඒ එස්.එම්.එස්. පණිවුඩ මගින් ආදරබර ප්‍රකාශ ඇය වෙත යොමු කරමිනි.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මේ එන ‍පොට හොඳ නැති බව දැන සිටියත් ඔහුට එරෙහිව යන්නට තරම් ශක්තියක් ඇයට නොතිබුණාය. ඒ ගැන සිතාම ඇය මානසික රෝගියෙකු බවටද පත්වෙමින් සිටියාය.

ඇය දිනක් පෞද්ගලික මානසික වෛද්‍යවරයෙකු මුණගැසීමට යන්නේ ඊට ප්‍රතිකාර ලබාගැනීමටය. ඇය මානසිකව කඩා වැටී ඇත්තේ ඇයි දැයි එහිදී හඳුනාගන්නා වෛද්‍යවරයා ‍පොලිස් පරීක්ෂකවරයාගෙන් නිදහස් වෙන්නට කළ යුත්තේ කුමක් දැයි ඇයට උපදෙස් දෙන්නටද අමතක නොකළේය. ඒ අල්ලස් කොමිසමේ දුරකථන අංක පවා ඇය අත තබමිනි.
අල්ලස් කොමිසමට ඇය යන්නේ ඒ අනුවය. ඇගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට පත්වන්නේද ඒ අනුවය.

අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශය මේ වන විට ලිංගික අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ‍පොලිස් නිලධාරියාට පෙර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ඒ 2014 වසරේ
පළමු වසරට ළමයෙකු ඇතුළු කරන්නට එම ළමයාගේ මවගෙන් ලිංගික අල්ලසක් ගන්නට ගිය අවස්ථාවේදීය. ළමයෙකු පාසලකට ඇතුළත් කරන්නට ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවකදී විදුහල්පතිවරයෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වන පළමු අවස්ථාව එයය. ඒ ඉකුත් සැප්තැම්බරයේ සිදුවුණු වැටලීමකි.


අල්ලස් කොමිසමේ අතීත වාර්තා පිරික්සීමේදී පෙනී යන්නේ අල්ලස් කොමිසමට මුල්ම ලිංගික අල්ලස් පැමිණිල්ල ලැබි ඇත්තේ ප්‍රේමදාස පාලන සමයේදී බවය. ඒ නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ නිලධාරියෙකුට එරෙහිවය. නිලධාරිනියකට ස්ථාන මාරුවක් ලබාදීමට ඔහු එම අල්ලස ඉල්ලා තිබුණි.

ඊට පසු නැවතත් ලිංගික අල්ලස් සම්බන්ධයෙන් රජයේ නිලධාරියෙකු කොටුවනුයේ බදුල්‍ලේදීය. ඔහු ග්‍රාමසේවා නිලධාරියෙකි. දුප්පත් ගැමි කාන්තාවකට ආහාර මුද්දර කාඩ්පතක් ලබාගැනීමට නිර්දේශයක් ඉදිරිපත් කිරීමට එම ලිංගික අල්ලස ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු කොටුවී ඇත.
ඊට පසුව ලිංගික අල්ලස් පැමිණිල්ලක් අල්ලස් කොමිසමට ලැඛෙන්නේ වසර 18කට පසුවය. ඒ 2007 වසරේ සැප්තැම්බර් 02 දාය.


වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ සේවයේ නිතරව සිටි තිස් එක් වියැති උපස්ථායිකාවකගේ ස්ථාන මාරුවක් සකසාදීමට වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ ප්‍රධාන කළමනාකරු එම ලිංගික අල්ලස ඇගෙන් ඉල්ලා තිබිණ. බුත්තල පිහිටි හෝටල් කාමරයකට ඇයව කැඳවා තිබුණු අතර ඔහු එහිදී අත්අඩංගුවට පත්වන්නේ ලිංගික අල්ලස ලබාගැනීමට සූදානම් වූ මොහොතේය. කොට්ටාව ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා කොටුවන්නේ ඊට වසර හයකට පසුවය. මහව ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමට කොටුවූ අලුත්ම ගොදුරය.

අල්ලස් කොමිසම සඳහන් කරනුයේ ලිංගික අල්ලස සමාජයේ පිළිකාවක් සේ පැතිර ඇති බැවින් ඒවා මර්දනය කිරීමට නම්, ලැජ්ජාව බිය හේතුකොට ගෙන ඒවා ඉවසාගෙන නොසිට අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙසය. ඒ තුළින් කාන්තාවට රැකවරණයක් මෙන්ම ආරක්ෂාවක්ද ලැඛෙන බව අල්ලස් කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ
 
Top