''ඔය කතාව පට්ට පල් බොරුවක්'' -නිල්මිණි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමා දේශපාලනයට එක්වන බවට පලවී ඇති මාධ්‍ය වාර්තා කිසිඳු පදනමකින් තොර මුළුමනින්ම අසත්‍ය වාර්තා බව ජනප්‍රිය නිළියක වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පවසන්නීය.

''ඔය කතාව පට්ට පල් බොරුවක්. මට කියන්න තියෙන්නෙ මම ඔය කියන විදියට දේශපාලනයට පිවිසෙන්නේ නැහැ කියන එකයි. මට ඇත්තටම එහෙම වුවමනාවක් නැහැ. ඕක කවුරු, මොන හේතුවක් හින්දා හදපු කතාවක්ද කියන්න මම දන්නේ නැහැ.

මෑතක මම දේශපාලන තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒකේ දේශපාලන චරිතයක් තමයි මම කළේ. ඉතින් ඒ ගැන පුවත්පතක මාධ්‍යවේදියෙක් මා එක්ක සාකච්ඡාවක් පවත්වපු අවස්ථාවක

මා පළ කළ අදහසක් වැරදි විදිහට තේරුම් අරගෙන වෙන්න ඇති ඔය ආරංචිය පැතිරුණේ...'' යැයි ඇය 'ලක්බිම' පුවත්පතට පවසා ඇත.

'' සැබෑ ජීවිතයේදී මට දේශපාලනයට පිවිසෙන්න, මන්ත්‍රී ධුරයක් දරන්න මේ වෙද්දී නම් කිසිම වුවමනාවක් නැහැ. අනික මම දැන් තියෙන ගහ මරාගන්නා දේශපාලනයට කැමතිත් නැහැ. සමහර විට ඔබ විශ්වාස කරන එකකුත් නැහැ, මෙතෙක් කාලෙකට මම ඡන්ද ‍පොළකට ගිහින් මගේ ඡන්දය පාවිච්චි කරලාවත් නැහැ. මගේ අයියා මොරටුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්. නමුත් එයා වෙනුවෙන්වත් මම ඡන්දය පාවිච්චි කරලා නැහැ. ඒක අපේ ගෙදර අයත් දන්නවා.'' යයි පවසන නිල්මිණි, ඇයට දේශපාලනය එපා වීමට බලපෑ අතීත සිදුවීම් මෙසේ විග්‍රහකර ඇත.

'' දේශපාලනයට කැමති නැත්තේ ඇයි කියලා කියන්න මගේ පුංචි කාලෙට යන්න සිද්ධ වෙනවා. මගේ තාත්තා පියදාස තෙන්නකෝන් කොළඹ වගේම මොරටුව ප්‍රදේශයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක්. ඔහු වැඩ කළේ බණ්ඩාරනායක මැතිනිය සමගයි. ඒ වගේම තාත්තා ඒ දවස්වල වැඩිපුර හිටියෙත් හොරගොල්ල වලව්වේ. දේශපාලන වැඩ කටයුතු නිසා ඔහු හුඟක් කාර්යබහුල ජීවිතයක් ගෙව්වෙ.

කොහොම හරි මේ දේශපාලන වැඩ නිසා අපි හුඟක් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණා. මගේ අයියාව අල්ලගෙන ගිහින් බූස්ස කඳවුරේ රඳවගෙන හිටියා. අපේ ගෙවල් ගිනි තිබ්බා. අපේ අම්මයි තාත්තයි අපිට කන්න බොන්න දුන්නෙ ‍පොඩි ව්‍යාපාරයක් කරල. මේ ව්‍යාපාරික ස්ථාන පවා ගිනිබත් කළා. අපේ ගෙවල්වලට විරුද්ධ පක්ෂවල අය පහර දෙනකොට පුංචි අපි ඇඳවල් යට, පුටු යට හැංගුණා. අපි බයේ ගැහි ගැහී හිටපු වාර අනන්තයි. හැම ඡන්දයක් වෙලාවෙම අපි ඉන්නේ පරාණ බයෙන්.

අපේ ගෙදර ඒ දවස්වල දේශපාලන රැස්වීම් පවා පවත්වනවා. සී.වී ගුණරත්න ඇමැතිතුමා අපේ පවුලත් එක්ක හුඟක් කිට්ටුයි. මට මතකයි, බොහෝ වෙලාවට බණ්ඩාරනායක මැතිනිය එන රැස්වීම්වලදී එතුමියව මල් කළඹ දීලා පිළිගන්නෙත් මම නැත්තං නංගි. දේශපාලනඥයන් රැස්වීම්වල කතා කරන හැටි බලාගෙන ඉඳලා අපිත් වහල උඩට නැගලා ඒ දවස්වල කතා පවත්වනවා.

ඒත් පසු කාලයේ ගෙවල් ගිනි තියලා, දේපළ නැති වෙලා, දුක් විඳින්න වුණාට පස්සෙ මේ හැම දෙයක්ම අපට එපා වුණා. තාත්තාත් හිත් අමාරුවෙන් මියගියාට පස්සේ දේශපාලනය මට තිත්තම වුණා. අයියා දිගටම දේශපාලනය කළාට මම ඒ පැත්තටවත් ගියේ නැහැ. ඉතින් දේශපාලනය නිසා මේ තරම් දුක් ගැහැට විඳපු මම අරමුණකින් තොරව හිටි හැටියේ ආපහු දේශපාලනයට එන්න හදයි කියල ඔබ හිතනවද?

මම නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔය බොඩිගාඩ්ලා පිරිවරාගෙන, මිනිස්සුන්ට පේන්න අමුතුම විදිහේ මානසික තත්ත්වයක් මවාගෙන ජීවත් වෙන්න මට ඕන නෑ. මම නිදහසේ කඩේ ‍පො‍ලේ ගිහින් දෙල්, කොස් ටිකක් සල්ලිවලට අරන් වාහනේට නැගලා යන සාමාන්‍ය ගෑනියක්. ඒ ජීවිතේ මට හොඳයි. එතන සල්ලි දීලා ගන්න බැරි විදියේ සැහැල්ලුවක්, ආත්ම තෘප්තියක් තියෙනවා. ''
 
Top