අම්බලන්තොට තරුණිය දිවිනසා ගත්තාද? මරා එල්ලූවාද? | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අම්බලන්තොට, මයුරපුර, රන්දියගම ප්‍රදේශයේ 26 වැව ආසන්නේ තිබූ නුග ගසක එල්ලී අබිරහස් ලෙස මියගොස් සිටි තරුණ කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (29) උදෑසන අම්බලන්තොට පොලීසිය විසින් සොයා ගත්තා.

මෙසේ එල්ලී මිය ගොස් ඇත්තේ අම්බලන්තොට, මයුරපුර, රන්දියගම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 19 ක් වූ සඳුනි නිසංසලා නම් වූ තරුණ විවාහක කාන්තාවකි. ඇය මීට මාසයකට පමණ ඉහතදී අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ තරුණයෙකු සමග විවාහ වී එහි පදිංචියට ගොස් සිටි අතර පසුගිය 26 දා රාත්‍රී දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමකින් මෙම කාන්තාව සැමියාගේ නිවසින් පිටවී සිය මවගේ නිවසට යාම සඳහා සූදානම් වූ බව මියගිය කාන්තාවගේ සැමියා වන කසුන් මහතා පැවසීය.


අනතුරුව ඔහු විසින් මෙම කාන්තාව බිරිඳගේ මවගේ නිවසට ඇරලීමට සූදානම් වූ අවස්ථාවේ දී බිරිය තම නිවසේ නොසිටි බවත් ඉන් අනතුරුව ඥාති නිවෙස්වල ඇය සොයා පසුව මේ පිළිබඳව තම බිරිඳගේ මවට දැනුම් දී ඇත. තම බිරිඳ එම නිවසේද නොසිටි නිසා සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වෙත 26 දා රාත්‍රි 11.00 ට පමණ සැමියා විසින් පැමිණිලි කර ඇත. මියගොස් සිටි කාන්තාවගේ පවුලේ ඇයට සහෝදරියන් 3 ක් හා සහෝදරයන් 3 ක් සිටින අතර මෙසේ මියගොස් සිට ඇත්තේ පවුලේ 3 වැනියා බව මියගිය කාන්තාවගේ මව පැවසුවාය.

ඊයේ (29) අළුයම මියගිය කාන්තාවගේ බාල සොයුරිය පාසල් යැවීම සඳහා බසයට ඇරලීමට පැමිණි අවස්ථාවේදී මීට දින දෙකකට ඉහතදී අතුරුදන් වී තම දියණිය වැව ආසන්නයේ තිබූ නුග ගහක එල්ලී සිටිනු දුටු බවත් අනතුරුව ඇයගේ කෑ ගැසීමෙන් එතැනට ප්‍රදේශවාසීන්ද රැස්වූ බව මියගිය කාන්තාවගේ මව පැවසුවාය.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් අම්බලන්තොට පොලීසියට මේ බව දැනුම් දී ඇත. තම දියණියට එල්ලී මිය යාමට තරම් ගැටලූවක් නොතිබූ බව මියගිය කාන්තාවගේ මව වන ඵගඨග මල්ලිකා මහත්මිය පවසන අතර මෙම මරණය සැකසහිත බවද ඇය ප්‍රකාශ කළාය.


කෙසේ වෙතත් මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර ඊයේ (29) මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු අම්බලන්තොට පොලීසිය විසින් සිදු කරයි.
 
Top