ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මහේල ජයවර්ධනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගාවලියක ඔබ සහ ග්ලෙන් මැක්ස්වෙල් අතර පිටිය මැද ඇති වූ ගැටුම විශාල ආන්දෝලනයක් ඇති කළා. 20-20 තරගයක තිසර පෙරේරා අවසන් පන්දුව යවන්නට සූදානම්ව සිටියදී සහ ඔබ ඇතුළු කිහිප දෙනෙක් ඔහුට යම් යම් උපදෙස් දෙමින් සිටියදී මැක්ස්වෙල් පැමිණ කිසියම් නොහොබිනා යමක් ප්‍රකාශ කිරීම නිසයි මේ උණුසුම් වචන හුවමාරුව සිදුවුණේ.
මේ සිද්ධිය වෙනකං බොහෝ දෙනෙක් හිතාගෙන හිටියෙ ඔබ වැඩිය කේන්ති ගන්නෙ නැති, බොහොම නිවිච්ච කෙනෙක් කියල?
හැම තිස්සෙම එහෙම ඉඳල හරියන්නෙත් නැහැ කියල මට හිතුණ. ලෝකෙ සමහර ක්‍රීඩකයො හිතනව නම් ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයො කියන්නෙ ඔළුව පහත් කරගෙන ඉන්න කණ්ඩායමක් කියල ඒ අදහසට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. විශේෂයෙන් අපේ නවක ක්‍රීඩකයින්ට ඔවුන් අනවශ්‍ය විදියට පීඩනයක් එල්ල කරන්න හදනව නම්,
ඊට එරෙහිව යමක් කරන්න තරුණ ක්‍රීඩකයින්ට හැකියාවක් නැතිව ඉන්න වෙලාවක මම හිතන්නෙ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො හැටියට අපි ඉදිරිපත් වෙලා ඒ දේ කරන්න ඕනෙ. එතකොට තමයි ඊළග පරම්පරාව ඒ විශ්වාසයත් අරගෙන ඉස්සරහට යන්නෙ. දැන් අර්ජුන අයියල ඒ දේ කරපු නිසා තමයි අපිට අද ඒ විශ්වාසය ගොඩ නැගිල තියෙන්නෙ. ඒ නිසා තමයි අපිට ඒ විදියට ඔළුව කෙලින් තියාගෙන ඒ අවස්ථාවලට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒක වැරැද්දක් කියල මම හිතන්නෙ නැහැ. මම හිතන්නෙ සමහර ක්‍රීඩකයින්ව, මොන රටේ වුණත් අපිට කමක් නැහැ, ඒ ගොල්ලන්ට උචිත ස්ථානයේ අපි තියන්න ඕනෙ. ඕනවට වඩා ඔළුව පහත් කරගෙන ඉන්න වුවමනාවක් නැහැ.
සිද්ධියෙන් පස්සෙ මැක්ස්වෙල් ප්‍රකාශ කරල තිබුණ ඔහු ඒ ගැන හුගක් කනගාටු වෙනව කියල. ශ්‍රී ලංකා කණ්ඩායමේ කාමරයට ගිහින් වෙච්ච දේ ගැන තමන් සමාව ඉල්ලුව කියලත් ඔහු සඳහන් කරල තිබුණ. ඒ වගේම ඔහු කියල තිබුණ මහේල කියන්නෙ මගේ හොඳම යහළුවෙක්, ඒ යාළුකම ඉදිරියටත් ඒ විදියටම තියේවි කියල.?
ඔව් මැක්ස්වෙල් මගේ හොඳ යාළුවෙක් තමයි. අපි දෙන්න අයි.පී.එල්. තරගාවලියෙදීත් එකම කණ්ඩායමේ සෙල්ලම් කරන්නෙ. නමුත් ඒ වෙලාවෙ ඇති වෙච්ච තත්ත්වය උඩ ඔය විදියෙ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඊට පස්සෙ අපි බොහොම හොඳින් කතාබහ කරල ඒක එතනින් විසඳගත්තා.
ක්‍රිකට් ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් ඔබ හඳුන්වන්නෙ ‘ජෙන්ට්ල්මන්’ කෙනෙක් එහෙම නැත්නම් මහත්මා ගුණයෙන් පිරි පුද්ගලයෙක් කියල. මොකක්ද මේ ගැන කියන්න තියෙන්නෙ?
මම එදා ඉඳන්ම මගේ හෘද සාක්ෂියට එකගව තමයි හැම දෙයක්ම කරන්න උත්සාහ ගත්තෙ. හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියල තේරුම් අරගෙන ඒ අනුව හැසිරෙන්න, කටයුතු කරන්න උත්සාහ ගත්ත. ඒක මගේ කුඩා කාලයේ ඉඳන්ම මගේ ගතියක්. ඉතින් ඒ නිසා වෙන්න ඇති එවැනි අදහසක් ඇති වෙලා තියෙන්නෙ. ඒ ගැන ඉතින් සතුටුයි. ක්‍රිකට් පාලකයන් සමග වුණත් ඔබ සමහර අවස්ථාවල එකගතාවයෙන් කටයුතු කළා වගේම සමහර අවස්ථාවල ඔවුන්ගේ තීරණවලට එරෙහිවත් අදහස් ප්‍රකාශ කළා.
එකග වෙන්න ඕන දේට මම එකග වෙනව. නමුත් මට පිළිගන්න බැරි දේට මම කවදාවත් එකග වෙන්නෙ නැහැ. මට යමක් වැරදියි කියල පේනව නම් මම කෙළින්ම ඒක වැරදියි කියල කියනව. ඒක මගේ කවදත් තිබුණු හැටියක්.
මිතුරන් අතරෙ හතුරන් ඇති වෙලා නැද්ද?
ඇති වෙලා ඇති.
ඔබට දැනෙන විදියෙ හතුරන්?
ඇත්තටම ඉන්නව. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මට හිතෙනව නං යම් කිසි දෙයක් වැරදියි කියල මම කෙළින්ම ඒක වැරදියි කියල කියනව. ඉතින් සමහරු මාත් එක්ක තරහ ගන්නව ඇති.
ඔබ ක්‍රිකට් ක්‍රීඩාව ගැන විශාල දැනුමක් තිඛෙන ක්‍රීඩකයෙක් බව හැමෝම පිළිගන්නව. ඉතින් ඒකත් එක්ක යම් දවසක ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ ඔබ ක්‍රිකට් වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වේවි කියන එක තමයි කාගෙත් බලාපොරොත්තුව?
ඔව් ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්න ඕන තමයි. මගේ ලොකු ආසාවක් තියෙනව පාසැල් ක්‍රීඩකයින්ට සහ එතැනින් එළියට එන අය වෙනුවෙන් යමක් කරන්න. ඒක මගේ වගකීමක් කියල මම කල්පනා කරනව. මොකද ක්‍රිකට්වලින් මම හුගක් දේවල් ඉගෙන ගත්ත. ක්‍රිකට් ගැන විතරක්මත් නෙවෙයි, ජීවිතය ගැනත් බොහෝ දේවල් මම තේරුම් ගත්ත. ඉතින් මේ හැම දෙයක්ම අලුත් පරම්පරාව එක්ක ඛෙදාහදා ගන්න එක මගේ යුතුකමක්. නමුත් කොයි විදියටද මේක කරන්නෙ කියල තවම සැලසුම් කරල නැහැ. ඒ ගැන ඉදිරියේදී කල්පනා කරල බලල තීරණයක් ගන්නවා.
ඔබ මේ වෙනකොට දීර්ඝ කාලයක්, තරග විශාල සංඛ්‍යාවකට ක්‍රීඩා කරල තියෙන ක්‍රීඩකයෙක්. ශාරීරික වශයෙන් කොහොමද ඒක දැනෙන්නෙ. ආබාධ එහෙම නැතුවම වෙන්න බැහැ?
මුල් කාලෙ නම් ආබාධ තිබුණෙම නැති තරම්. ඒත් දැන් මං හිතන්නෙ වයසත් එක්ක පොඩි පොඩි දේවල් දැනෙන්න පටන් අරන් තියෙනව. ඉතින් ඒකයි මම කිව්වෙ මේ හැම දෙයක්ම කල්පනා කරල බලල තීරණයක් ගන්න සිද්ධ වෙනව. මම හිතන්නෙ කණ්ඩායමේ සෙසු තරුණ ක්‍රීඩකයින් එක්ක හරි හරියට ක්‍රීඩා කරන්න පුළුවන් මට්ටමක් මට නැහැ කියල හිතුණු දවසට මම ක්‍රීඩාවෙන් ඉවත් විය යුතුයි. මොකද ක්‍රීඩා කරනව නම් ඔහේ නිකං, ක්‍රීඩා කරන පලියට ක්‍රීඩා කරල වැඩක් නැහැ. මගෙන් යමක් කණ්ඩායමට වෙන්න ඕන. එහෙම නැත්නම් මම කණ්ඩායමේ ඉන්න එකේ තේරුමක් නැහැ.
දැන් සමහරු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ දේශපාලනයට එනව, සමහරු පුහුණුකරුවන් බවට පත්වෙනව. තවත් සමහරු විනිශ්චයකරුවන් වෙනව. ඔබ මේ අතරින් වඩා කැමති මොකටද?
(සිනාසෙමින්) මම හිතන්නෙ මම ඒ එකකටවත් කැමති නෑ කියලයි. පුහුණුකරුවෙක් වෙන්න අවශ්‍ය කරන මානසික ස්වභාවය මා තුළ තියෙනව කියල මට හිතෙන්නෙ නැහැ. මොකද විශාල විනයක් තියෙන්න ඕන ඒකට. දැනුම ලබා දෙන්න මට පුළුවන්. නමුත් පුහුණුකරුවෙක් හැටියට කටයුතු කරනව කියන්නෙ ඊට වඩා වෙනස් දෙයක්. මම ඒකට සුදුසුයි කියල මට හිතෙන්නෙ නැහැ.
දේශපාලනයට එන්න අදහසක් තියෙනවද?
දේශපාලනයට එන්න නම් කොහොමත් විදියක් නැහැ. මොකද මගේ භාර්යාව කියල තියෙනව මම දේශපාලනය කරන්න ආපු දවසට එයා මාව දාල යනව කියල. (සිනාසෙයි)
ඔබ මාධ්‍යවේදීන් සමග සමහර අවස්ථාවල නොහොඳ නොක්කාඩු වීම් ඇති වුවත්, සමස්තයක් හැටියට ගත්තම ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කරන ක්‍රීඩකයකු ලෙසයි සැලකෙන්නේ?
මම හිතනවා මම බොහොම විවෘත කෙනෙක් කියල. මගෙන් අහන ප්‍රශ්නවලට මම විවෘතව උත්තර දෙනව. මට හංගන්න දෙයක් නැහැ. මම කියපු සමහර දේවල් සමහරු පෞද්ගලික මට්ටමෙන් බාර අරගෙන මා ගැන යම් යම් අර්ථකථන වලට ඇවිල්ල තියෙනව. ඒත් ඉතින් ඒ ගැන මට කරන්න දෙයක් නැහැ. කොහොම වුණත් මම හිතනව අපි අතර අනේයාන්‍ය ගෞරවයක් තියෙන්න ඕනෙ කියල.
සංගක්කාර, ඩිල්ෂාන් සහ ඔබ, මේ ජ්‍යෙෂ්ඨයන් තුන් දෙනා සමුගත්තට පස්සෙ ලංකාවෙ ක්‍රිකට් ඉවරයි කියල සමහරුන්ගෙ මතයක් තියෙනව. මේ අදහස සාධාරණයි කියල ඔබ හිතනවද?
මම එහෙම හිතන්නෙ නැහැ. අපිට ඉතා දක්ෂ තරුණ ක්‍රීඩකයින් ගොඩක් ඉන්නව. මං හිතන්නෙ අවශ්‍ය වෙන්නෙ ඔවුන්ට නිසි ආකාරයෙන් මගපෙන්වමින්, ඔවුන් මත වැඩි පීඩනයක් ඇති නොකරමින් නිවැරදි විදියට ඔවුන් ඉදිරියට ගෙන යාමයි. එහෙම වුණොත් ඔය කියන විදියේ කඩා වැටීමක් වෙයි කියල මම හිතන්නෙ නැහැ.
ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය දීම සම්බන්ධයෙන් ඔබ බොහොම සතුටින් කතා කරපු බව අපිට මතකයි?
ඔහු තරුණ ක්‍රීඩකයෙක් හැටියට හොඳ මානසික තත්ත්වයක් පෙන්නුම් කරපු ක්‍රීඩකයෙක් බව අපි අවබෝධ කරගෙන හිටියා. විශේෂයෙන් අපි අමාරු අඩියට වැටුණු තරගවලදී ඔහු බොහොම හොඳින් ඒ අභියෝගයට මුහුණ දීල කණ්ඩායම ගොඩ ගත්තු අවස්ථා තිබුණ. හොඳින් තමාගේ මනසේ පාලනය පවත්වාගෙන ඒ තත්ත්වයන් තේරුම් අරගෙන ක්‍රීඩා කරන්න ඔහුට හැකියාව තිබුණ. ඒක සාමාන්‍යයෙන් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එවැනි කෙනෙකුට නායකත්වයේ පීඩනය හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් කියන අදහසේ තමයි අපි කවුරුත් හිටියෙ. අනික අලුත් කෙනෙකුට නායකත්වය පවරන්න ඕනෙ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටින අතරේමයි කියන අදහසත් අපි තුළ තිබුණ. මොකද එතකොට ඔහුට යම් යම් දේවල් ගැන උපදේශයක් ගන්න වුණත් කෙනෙක් කණ්ඩායමේ ඉන්න නිසා.
ඇති වුණු යම් යම් කලකිරීම් නිසා ඔබ ලංකාවෙන් බැහැර පදිංචි වෙන්න හිතාගෙන ඉන්නව කියලත් පහුගිය කාලෙ කටකතා පැතිරුණා නේද? මේකෙ යම්කිසි ඇත්තක් තියෙනවද?
මොනම ඇත්තක්වත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බොරු ආරංචියක්. මම කවදාවත් ලංකාව අතහැරල යන්නෙ නැති බව හොඳටම විශ්වාසයි.
ක්‍රිකට්වලින් නික්ම ගියාට පස්සෙ ගොල්ෆ් ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්නව කියන්නෙ ඇත්තද?
(සිනාසී) එහෙම පූර්ණකාලීනව ක්‍රීඩා කරන්න අදහසක් නැහැ. නමුත් විනෝදාංශයක් හැටියට ගොල්ෆ් ක්‍රීඩා කරන්න මම කැමතියි. විශ්‍රාම ගත්තට පස්සෙ කාලය ගත කරන්නත් විදියක් තියෙන්න එපැයි.
ජීවිතය ගැන තෘප්තිමත්ද?
ඔව්. හුගක් තෘප්තිමත්. මම කොහොමත් හුගක් සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. අනික මම ආසම කරන දෙයක් මගේ වෘත්තිය බවට පත් කරගන්න ලැබුණු එක වාසනාවක් හැටියටයි මම දකින්නෙ. ඒ වගේම ක්‍රිකට්වලින් මට ලැබිච්ච දේවල් ගොඩක් තියෙනව. සල්ලි විතරක් නෙවෙයි. හුගක් දේවල් ඉගෙන ගත්ත. විශේෂයෙන්ම ජීවිතය ගැන ඉගෙන ගත්ත දේවල් මිල කළ නොහැකියි. අනික ඉතාම අපූරු, සුවිශේෂ මිනිසුන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ජීවිතය ගැන ආපහු හැරිල බලද්දී ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා.