‘අද අපෙන් ඡන්දේ ඉල්ලගෙන එන අයගෙන් වැඩිදෙනෙක් කුඩුකාරයෝ, අරක්කු කාරයෝ, පගාකාරයෝ, හොරු, සල්ලාලයෝ. අලුත්ම මොස්තරය නළු නිළියෝ ඡන්දේ ඉල්ලන එක. මේ අය මොනවාද දන්නේ දේශපාලනය ගැන? කුමණ පක්ෂයකින් ආවත් මෙවැනි අයට ඡන්දෙ දෙන්න එපා. දේශපාලනය කරන හොඳ මිනිසුන්ට ඡන්දය දෙන්න’ යැයි කෝට්ටේ නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.
මාදුළුවාවේ සෝභිත හිමියෝ එසේ පැවසුවේ කැස්බෑව නගර සභාවේ විපක්ෂ නායක ලෙනාඩ් කරුණාරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන්
කැස්බෑව නගරසභා ශාලාවේදි පැවැත්වූ කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද දහම් පාසැල් ගුරුවරුන්ට උපහාර දැක්විමේ උත්සවයකට සහභාගී වෙමිනි.
‘මේ සමාජයේ විකිණෙන්නේ නැති කිසිම දෙයක් නැහැ. හැම කෙනෙක්ම වේලාසන ගානක් පොරොන්දු වෙලයි වැඩකරන්නේ. පොල් ගහකට නගින්න ආවත් වේලාසන අහනවා ගස් කීයක්ද? තැඹිලි කඩනවා නම් තැඹිලි වලු කීයක්ද? බුදුබණේ කියැවෙන සමාජය පරිහාණියට පත්වන සියල්ල අද අපේ රටේ ව්‍යාප්ත වෙනවා. කුඩු, කැසිනෝ, ගණිකා සේවනය ආදියෙන් සිදුවන විනාශය ළමයින්ට කියල දෙන්න.
දරුවෙක් ඒවායින් ආරක්ෂාවෙන්න නම් මේ දුරාචාර ගැන බියක් ඔවුන් තුළ ඇතිවිය යුතුයි. දහම් පාසැල් ගුරුවරයාගේ වගකීම පොත කියාදීම පමණක් නොවෙයි. යහපත් දරු පරපුරක් ගොඩනැගිමයි. මහළු මඩම්වල බහුතරයක් ඉන්නේ පියවරු. මත්පැන් පාවිච්චි කරන පියවරු දරුවන්ට එපාවෙලා.
දරුවෝ තමන් දරුවන් බව දන්නෙ නැහැ, තාත්තලා තමන් තාත්තලා බව දන්නේ නැහැ, අම්මලා තමන් අම්මලා බව දන්නේ නැහැ, හාමුදුරුවරු තමන් හාමුදුරුවරු බව දන්නේ නැහැ, තාත්තාට තැනක් දීමට අම්මා පෙරලීයක් කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි සමාජ පෙරළියක් කළයුතු කාලය දැන් එලැඹිලා තියෙනවා. ‘කිට්ටු වෙන්නේ මැතිවරණ සමයක්. මේ කාලයේදී අප සිතා බැලිය යුතුයි කාටද ඡන්දෙ දෙන්නෙ කියලා.
මේ සමාජය විනාශ කරන අයට ඡන්දය දෙන්න එපා. අද අපෙන් ඡන්දේ ඉල්ලගෙන එන අයගෙන් වැඩිදෙනෙක් කුඩුකාරයෝ, අරක්කු කාරයෝ, පගාකාරයෝ, හොරු, සල්ලාලයෝ. අලුත්ම මොස්තරය නළු නිළියෝ ඡන්දේ ඉල්ලන එක. මේ අය මොනවාද දන්නේ දේශපාලනය ගැන? කුමණ පක්ෂයකින් ආවත් මෙවැනි අයට ඡන්දෙ දෙන්න එපා.’යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.