හිමිකරුගේ දියණියගේ නිවසින් ඇලි කැස්බෑවෙක් මතුවෙලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කොස්ගොඩ, හිද්දොරුව ප්‍රදේශයේ කැස්බැ ජීවී මධ්‍යස්ථානයෙන් අතුරුදන්වු සුදු පැහැති ඇලි කැස්බෑවා බවට සැකකෙරෙන ඇලි කැස්බෑවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබේ. පසුගිය දෙසැම්බර් මස 15 වනදින රාත්‍රියේ අදාළ කැස්බෑ ජීවී මධ්‍යස්ථානයේ සිටි ඇලි කැස්බෑවෙකු සොරකම් කර ඇති බවට එහි හිමිකරු වන චන්ද්‍රසිරි ආබෘ නැමැති පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව කොස්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ද මේ සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් ආරම්භ කරන ලදී. කෙසේ වෙතත් විමර්ශන අතරතුර පැමිණිල්ල සිදුකළ කැස්බෑ ජීවි මධ්‍යස්ථානයේ හිමිකරුගේ දියණියගේ නිවසට දිනකට තුන්වරක් මුහුදු වතුර රැගෙන යන බවට විමර්ශන සිදුකරන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබේ. ඒ අනුව අදාළ නිවස පරීක්ෂාවට ලක් කළ විමර්ශන කණ්ඩායම් කිලෝ ග්‍රෑම් පහ හමාරක් බරැති ඇලි කැස්බැවෙකු සොයාගෙන ඇති බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එහෙත් කැස්බෑ ජීවී මධ්‍යස්ථානයෙන් අතුරුදන්වී ඇත්තේ කිලෝ ග්‍රෑම් නවය හමාරක් පමණ බරැති කැස්බෑවෙකු බවට එහි හිමිකරු විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන්වේ.

ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා මහතා අතුරුදන්වු කැස්බෑවා මිලට ගැනීමට පැමිණි බව පැමිණිලිකරු විසින් මීට පෙර, පොලිසියට ප්‍රකාශ කර තිබු බැවින් අද දිනයේ සොයාගත් කැස්බෑවා පිළිබද පොලිසිය අමල් පෙරේරා මහතාගෙන් විමසා තිබේ.

අද දිනයේ හමුවු කැස්බෑවා තමන් මිලදී ගැනීමට ගිය කැස්බැවා බව අමල් පෙරේරා මහතා විසින් තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඒ අනුව අතුරුදන්වු කැස්බෑවා සම්බන්ධයෙන් පැමිණිලිකරු වන චන්ද්‍රසිරි ආබෘ අසත්‍ය තොරතුරු ලබා දී ඇත්ද යන්න පිළිබද විමර්ශන සිදුකිරීමට පොලිසිය තීරණය කර තිබේ.

අදාළ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර ඇති බවට ඥාතීන් පොලිසිය වෙත දැනුම් දී ඇති අතර පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවට අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
Top