විවාහයෙන් පසු පළමු දරුවා ලැබිමට සිටි තම බිරිඳගේ ජීවිතය ගම්පොළ මූලික රෝහලේ (ශික්ෂණ) වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හා අකාරුණික බව නිසා අහිමි වී යයි චෝදනා නගමින් ඒ සඳහා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ඇගේ සැමියා විසින් ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආයතන 16ක් වෙත ලිඛිතව පැමිණිලි කොට ඉල්ලා සිටියි.
27 හැවිරිදි වියේ පසුවූ මල්කාන්ති දිසානායක හා ඇගේ සැමියා ගම්පොළ නාරංවිට රොස්හිල්වත්ත වැලිකන්ද බංගලාවේ පදිංචිකරුවන් වන අතර මියයන විට මල්කාන්ති හත්මස් ගැබිනියක වූවාය.
තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වූ මල්කාන්ති බදුල්ලේ පදිංචිකාරියක් වන අතර
විවාහයෙන් පසු මෙසේ ගම්පොළ පදිංචි වී සිටියාය.
බදුල්ලේ විශාඛා උසස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වූ ඇය අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු රත්මලාන වෘත්තීය හෙද විදුහලට ඇතුළත්ව පුහුණුවී එහි සම්මානයටද පාත්රවී සිටියාය.
ඇගේ අවාසනාවන්ත මරණය පිළිබඳව සැමියා වූ දිනේෂ් කඩදොර මෙසේ සඳහන් කළේය.
විදේශ රටවලින් භාණ්ඩ ගෙන එන ආයතනයක් මා සතුව තිඛෙනවා. මම පදිංචි වෙලා ඉන්නේ අපට හිමි වත්ත හා වතු බංගලාවේ. දැන හැඳුනුම්කමකින් තමයි මම මල්කාන්ති සමග විවාහ
වුණේ. 2011 සැප්තැම්බර් මාසේ විවාහයෙන් පස්සේ අපේ වත්තේ අපි පදිංචි වෙලා හිටියේ. ඇය පාසල් සමයේ ක්‍රීඩාවලට දක්ෂ හා පාසල් ශිෂ්‍ය නායිකාවක් ලෙසත් ඉඳලා තියෙනවා. කිසිම රෝගී තත්ත්වයක් තිබුණේ නෑ. පසුගිය නොවැම්බර් 25 වන දින රාත්‍රී 10.30ට විතර ඇය වමනය කළා. ඒ වන විට ඇය හත්මස් ගැබිනියක්. මම වහාම බිරිඳ ගම්පොළ රෝහලට රැගෙන ගියා. ඇයට ඒ වන විට හුස්ම ගැනීම අපහසුව තිබුණා. හෙද පුහුණුව ලබා සිටි ඇයට රෝග සම්බන්ධව වැටහීමක් තිබුණා.
ඇය රෝහලේ රෝගින් ඇතුළත් කරන ස්ථානයේ සිටි වෛද්‍යවරියගෙන් ඔක්සිජන් ලබා දෙන ලෙස කිහිපවරක්ම ඉල්ලුවා. ඇගේ රුධිර පීඩනය සාමාන්‍ය බව පවසා එහි සිටි වෛද්‍යවරිය බොරුවට කෙඳිරි නොගාන ලෙස බැණ වැදුනා. හුස්ම ගැනීමේ අපහසුවෙන් දැඩිව පීඩාවිඳි ඇය දෙස බලා මේ වෛද්‍යවරිය උපහාසාත්මකව සිනාසුණා. ඉන්පසු ඇය කළේ දුරකථන ඇමතුමකට විනාඩි 10ක් 15ක් කතාකොට මගේ බිරිඳ ගැබිනි මාතාවන්ගේ වාට්ටුවට නොයවා හතර වාට්ටුවටම යැවීමය.
හතර වාට්ටුවේ සිටි වෛද්‍යවරියන් දෙදෙනාද මාගේ බිරිඳගේ අසාධ්‍ය තත්ත්වය උපහාසයට ලක්කරමින් බොහෝ වේලා ගිය පසු වෙනත් වෛද්‍යවරයකු මේ බව දැක බිරිඳගේ රුධිර පීඩනය මැන බැලුවා. එය 240ක් ලෙස සටහන් වීම නිසා වෙනත් වෛද්‍යවරුන් පැමිණ ප්‍රතිකාර ආරම්භ කළා.
මේ වන විට සිහිකල්පනාව නොමැතිව සිටි බිරිඳගේ උගුරෙන් ශබ්දයක් පිටවුණා. එවිට අර වෛද්‍යවරියන් දෙදෙනා බොරු රඟපෑම් කරනවා කියා බැණ වැදුනා.අවසානයේ පසුව පැමිණි වෛද්‍යවරුන් පවසා සිටියේ රෝගියාගේ මොළයට රුධිරය ගොස් ඇති බවයි. පසුව උගුරට බට යොදා බිරිඳ මහනුවර මහ රෝහලට පසුදා 5ට පමණ පිටත්කර හැරියා.
අනතුරුව 26 දින මහනුවරදී සැත්කම් කීපයක් බිරිඳට සිදුකොට තිබුණා. එහිදී මගේ දරුවාද මියගොස් ඇති බව ඔවුන් මට පෙන්නුවා. අවසානයේ බලාපොරොත්තු ගොන්නක් පොදිබැඳ ගනිමින් ජීවිතයේ දුකසැප අතර දිගු ගමනක් යාමට මගේ අත්වැල් බැඳගත් බිරිඳ රෝහලේදී මගෙන් සදහටම සමුගත්තා.
දරුවකු බිහිකිරීමට ආසන්නයේ සිටි මගේ බිරිඳගේ රුධිර පීඩන තත්ත්වය සොයා බලා ඇය ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු වෙත පෙන්වීමට ගම්පොල රෝහලේ වෛද්‍යවරියන් කටයුතු කළේ නම් ඇය හා මාගේ දරුවා අප සමග බොහෝකල් ජීවත් වීමට ඉඩ තිබුණා. ඒ නිසා මෙවැනි අකාරුණික වෘත්තියකට නොගැළපෙන මෙවැනි වෛද්‍යවරුන් පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක්කොට සියලු රෝගීන්ට යහපතක් ඉටුකරන ලෙස මම මේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.