නංගිට කලින් අක්කා විවාහ වෙන්න ඕන කියලා මම හිතන්නේ නැහැ... - දිනක්‍ෂි ප්‍රියසාද් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දිනක්‍ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ තම පියාගේ අඩි පාරේ යමින් කලාවට සම්බන්ධ වුණ ජනප්‍රිය රංගන ශිල්පීනියන් ත්‍රිත්වයක්‌. අක්‌කල නංගිල තුන්දෙනාටම එක වගේ ජනප්‍රියත්වයක්‌ ලැඛෙද්දී ළගදිම ශේෂාද්‍රි විවාහ වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳව දිනක්ෂි පුවත්පතකට දක්වා තිබූ අදහස් පහතින්.
 
මොනවද මේ දවස්‌වල දිනක්‍ෂිගේ වැඩ කටයුතු?

මේ දවස්‌වල අම්මාවරුණේ නාට්‍යයේ ෂූටිං ඉවර කළා. අම්මාවරුණේ නාට්‍ය මේ දවස්‌වල ස්‌වර්ණවාහිනියේ විකාශය වෙනවා. කළු සෙවනැලි සහ කාජල් කියලා අලුත්ම නාට්‍ය 02 ක වැඩ කළා. ඒවා ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය. ඩබල් ට්‍රිබල් චිත්‍රපටය මේ දවස්‌වල ලංකාව පුරා සිනමාහල්වල තිරගත වෙනවා. ඒ චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර ලැඛෙනවා. ඊට අමතරව

සුපුරුදු විදියටම නිවේදන කටයුතුවලටත් සහභාගි වෙනවා. මේ සියලුම කලා වැඩ කටයුතු අතරතුරේලූ මගේ උසස්‌ අධ්‍යාපන වැඩ කටයුතුත් මම දිගටම කරගෙන යනවා.

දිනක්‍ෂිගේ ලොකු නංගි, ශෙෂාද්‍රි විවාහ වෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඔව්, ඒ කතාව නම් ඇත්තක්‌.

නංගි විවාහ වෙන එක ගැන අක්‌කට මොනවද හිතෙන්නේ?
ගොඩක්‌ සතුටුයි. මටත් කලින් එයා විවාහ වෙන්න තීරණය කරපු එක හොඳයි. මොකද එයාට සුදුසු කාලයේ දී, සුදුසු වයසේ දී, සුදුසු සහකරුවෙක්‌ මුණ ගැහිලා තියෙනවා. ඒ ගැන අක්‌ක විදියට මම සතුටු වෙනවා.

ශෙෂාද්‍රිගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ කවද්ද?
දෙසැම්බර් 26 වැනිදා තමයි විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ. ජනවාරි 05 වැනිදා තමයි හෝම්කමින් එක තියෙන්නේ. දෙසැම්බර් 26 වැනිදා උත්සවය නම් අපි ගොඩක්‌ ලොකුවට කරන්නේ නැහැ. පවුලේ අය විතරක්‌ එකතුවෙලා බොහොම සරලව තමයි විවාහ මංගල උත්සවය පවත්වන්නේ. මංගල චාරිත්‍ර වලට මුල්තැන දීලා ගංගාරාම විහාරයේ තමයි 26 වැනිදා උත්සවය පැවැත්වෙන්නේ. 05 වැනිදා උත්සවය පැවැත්වෙන්නේ කොළඹ කින්ස්‌බරි හෝටලයේ දීයි.

මනාලියගේ යෙහෙළියන් විදියට කවුද ඉන්නේ?

නංගිගේ විවාහ මංගල උත්සවය ගොඩක්‌ සරලව පැවැත්වෙන නිසා ගෘප් එකක්‌ නැහැ. මනාලයයි, මනාලියි විතරයි ඉන්නේ. ඒක තමයි ඒ
දෙන්නගේ කැමැත්ත. අපි ඒ දෙන්නගේ කැමැත්තට ඉඩ දීලා තමයි මේ විවාහ මංගල උත්සවය පවත්වන්නේ.

කොහොමද පවුලේ අය විවාහ මංගල උත්සවයට තියෙන සූදානම?
අපේ පවුලේ සිද්ධ වෙන පළවෙනි විවාහය තමයි මේ. මටයි නංගිල දෙන්නටයි නම් මේක අලුත්ම අත්දැකීමක්‌. අම්මටයි, තාත්තටයි නම් පවුලේ අනිත් අයගේ විවාහ මංගල උත්සව තිබුණ නිසා මේ නුහුරු දෙයක්‌ නෙවෙයි. කොහොම උනත් මේ උත්සවය බොහොම සරලව පැවැත්වෙන නිසා ලොකු සූදානමක්‌ කරන්නේ නැහැ. මම මේ දවස්‌ ටිකේ කොහොමත් කාර්ය බහුල වෙලයි ඉන්නේ. මොකද භාර ගත්තු වැඩ ගොඩක්‌ තියෙනවා ඉවර කරන්න. ඒ නිසා අම්මිගෙනුත් බැනුම් අහනවා. මොකද මට අම්මට උදව් කරන්නවත් වෙලාවක්‌ ලැඛෙන්නේ නැහැ. අපි කතෝලික ආගමේ නිසා නත්තලත් ළගම එනවා. නත්තල් උත්සවයටත් සූදානම් වෙන ගමන්ම තමයි මේ වැඩත් කරන්නේ.

අක්‌කට කලින් නංගිව විවාහ කරල දෙන්න තීරණය කළේ ඇයි?
එයාට විවාහ වෙන්න සුදුසුම කාලය උදා වෙලයි තියෙන්නේ. එයාට ගැලපෙනම සහකරුත් ලැබිලයි තියෙන්නේ. මං බඳිනකල් කියලා එයා ඉන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. අපේ පවුලේ කවුරුවත් එහෙම සාම්ප්‍රදායික විදියට හිතන අය නෙවෙයි. කොහොමත් දැන්ම මට බඳින්න කෙනෙකුත් ලැබිලත් නැහැනේ.

නංගි පවුලෙන් ඉක්‌මණින්ම ඈත්වීම ගැන මොනවද හැගෙන්නේ?

ඒ ගැන නම් ඇත්තටම දුකයි. අපි 03 දෙනාම පුංචි කාලේ ඉඳලම එකට හිටියා. විශේෂයෙන් මායි ශෙෂාද්‍රියි එකටමයි හිටියේ. අපි දෙන්නා නිදා ගන්නෙත් එකම කාමරේ. ඉතින් එයා මගෙන් ඈත්වෙන එක ගැන නම් ඇත්තටම ගොඩක්‌ දුකයි. මට තනියම ඉඳලා පුරුදුත් නැහැ. ඒත් ඉතින් එයා යන්නේ එයාගෙම අලුත් ජීවිතයක්‌ පටන් ගන්නනේ. ඒ ගැන හිතලා සතුටු වෙනවා.

ශෙෂාද්‍රි හදිසියේම විවාහ වෙන්න තීරණය කළේ විශේෂ හේතුවක්‌ නිසාද?
නැහැ එහෙම විශේෂ හේතුවක්‌ නැහැ. එයා කොහොමත් ඉස්‌සර ඉඳන්ම කිය කියා හිටියා එයාට වයස 23 ට කලින් බඳින්න ඕන කියලා. ඒක එයාගේම මතයක්‌. කොහොමත් අපේ අම්මි කියනවා අපි තුන්දෙනාම වයස 25 ට කලින් බඳින්න ඕන කියලා. ඒත් අම්මිලා ශෙෂාද්‍රිට බලපෑම් කළේ නැහැ ඉක්‌මණින් විවාහ වෙන්න. ඒක එයාගේම තීරණයක්‌. වයස 22-23 කියන්නේ ගැහැනු ළමයෙකුට බඳින්න හොඳම වයස. එයාලගේ හඳහන් එහෙම බැලුවාමත් මේ කාලයේ දී විවාහයට වඩාත්ම සුදුසුම කාලය කිව්වා. ඒ නිසයි ඉක්‌මණින්ම විවාහ උත්සවය ගන්න තීරණය කළේ.

අක්‌ක විදියට දිනක්‍ෂි හිතන්නේ නැද්ද ශෙෂාද්‍රිට විවාහ වෙන්න තවම වයස මදි කියලා?
ඒක තීරණය කළ යුත්තේ තමන්මයි. තමන්ට ජීවිතය අවබෝධ කර ගන්න පුළුවන් නම්, තමන්ගේ සහකරුත් සමග අනාගත ජිවිතය අවබෝධයෙන් සතුටින් ගත කරන්න පුළුවන් කියලා හිතෙනවා නම්, ඒ වගකීම් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් නම් දෙන්නෙක්‌ විවාහ වුණාට ප්‍රශ්ණයක්‌ නැහැ. කොහොමත් නංගි මට වඩා වගකීමක්‌ ඇතිව ජීවත්වෙ කෙනෙක්‌. එයාට ඕනෑම වගකීමක්‌ ගන්නත් පුළුවන්. අම්මි වුණත් ගෙදරින් පිට යනවා නම් නංගිට තමයි ගෙදර වගකීම් ඔක්‌කොම පවරලා යන්නේ. එයාට ඒ වගකීම් මට වඩා හොඳට ඉෂ්ට කරන්න පුළුවන්. මම හිතනවා නංගි අලුතින් පටන් ගන්න ජීවිතයත් ගොඩක්‌ සාර්ථකව ගත කරයි කියලා. ඒ ජීවිතයට මුහුණ දෙන්න අවශ්‍ය අවබෝධය එයාගාව තියෙනවා.

දිනක්‍ෂිට දැන්ම විවාහ වෙන්න අදහසක්‌ නැද්ද?
අනේ නැහැ.

විවාහ වෙන්න කෙනෙකුත් නැද්ද?
නැහැ.

දිනක්‍ෂි බලාපොරොත්තු වෙන්නේ කොයි විදියේ සහකරුවෙක්‌ද?
මට එහෙම දෙයක්‌ ගැන හිතන්න වෙලාවක්‌ තවම ලැබිලා නැහැ. මොකද විවාහයට වඩා මට හිතන්න දේවල් ගොඩක්‌ තියෙනවා. කලා කටයුතුත් භාරගත්තු දේවල් ගොඩක්‌ තියෙනවා ඉවර කරන්න. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන්නත් තව අවුරුදු 02 විතර කාලයක්‌ යනවා. ඒ වැඩ ඉවර වුණාම තමයි විවාහය ගැන හිතන්න ඕන. අම්මි කිව්වට වයස 25 ට කලින් බඳින්න කියලා මගේ නම් ලිමිට්‌ එක 30 වෙකල්ම ඉන්න තමයි.

දිනක්‍ෂිත් නංගි වගේම හදිසියේ විවාහ වෙයිද?

ඒක කියන්න බැහැ. සමහර විට බැන්දට පස්‌සේ ඔයාලා දැනගන්නත් පුළුවන්. නමුත් මගේ විවාහය පේන දුරකදී නම් සිද්ධ වෙන්නේ නැහැ.
 
Top