මරන්න ලක්‍ෂ 7යි - නොමරන්න ලක්‍ෂ 3යි. ඩබල්ගේම් මිනී මැරුම් කොන්ත්‍රාත්තුව | Gossip lanka news Sinhala News Sinhala Cinema News

රුපියල් ලක්‍ෂ 7ක කොන්ත්‍රාත්තුවක්‌ දී සොයුරියන් දෙදෙනා හා මස්‌සිනා මරා දැමීමට තැත් කළ බව කියන පුද්ගලයෙක්‌ හා එම ඝාතනය සිදු නොකිරීමට යෑයි කියා රුපියල් ලක්‍ෂ 3ක කප්පම් මුදලක්‌ ඉල්ලූ මැර කල්ලියේ සාමාජිකයෙක්‌ කළුතර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (05 දා) අත්අඩංගුවට ගනු ලැබූහ. ඝාතන කොන්ත්‍රාත්තුව දුන් බව කියන සැකකරු සියඹලාණ්‌ඩුව 3 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් කප්පම් කල්ලියේ සාමාජිකයා යුද හමුදාවෙන් පැන ආ සෙබළෙකු වන අතර ඔහු ඇඹිලිපිටිය කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් දැනට මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංවිව සිටින බවත් හෙළිවී ඇත.

ඝාතන කොන්ත්‍රාත්තුව දුන් බව කියන සැකකරු පයාගල ඈතගම ගාලු පාරේ පිහිටි ෆ්‍රෙන්ච් විලා හෝටලය භාරව කලක්‌ කටයුතු කළ අයෙකි.

මෙම හෝටලයේ අයිතිකාරිය එම සැකකරුගේ

සොහොයුරිය වන අතර ඇය ප්‍රංශ ජාතික පොලිස්‌ නිලධාරියකු සමග විවාහවී දැනට ප්‍රංශයේ පදිංචිව සිටී.

දෙමාපියන් මිය ගිය පසු සහෝදර සහෝදරියන් අටදෙනා රැක බලාගෙන ඔවුන්ට සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට කටයුතු යොදා ඇත්තේ ඇය බව අනාවරණය වී ඇත.

ඇය සැකකාර සොහොයුරා වයස අවුරුදු 5 සිට රැක බලාගෙන ඇත. ඔහුට ත්‍රිරෝද රථයත්, යතුරුපැදියක්‌ මිලට ගෙනදී නිවෙසක්‌ද තනාදී ඔහුගේ විවාහ මංගල්‍යයද තම වියදමින් කරදී හෝටලය බලා ගන්නවාට මසකට රුපියල් 50 දාහක වැටුපක්‌ද ඇය විසින් ගෙවා ඇත. රුපියල් ලක්‍ෂ 2 ක්‌ වැය කර ඔහුට සූපවේදි පාඨමාලාවක්‌ ලබාදී ඇති බවත් හෙළිදරව් වී ඇත.

සැකකරු හෝටලයේ ආදායම අනිසි ලෙස පරිහරණය කරන බවට හෝටලය හිමි සොයුරියට දැනුනු හෙයින් ඇය හෝටලයේ භාරකාරත්වය සැකකාර සොහොයුරාගෙන් ඉවත් කර තවත් සොහොයුරියකට හා ඇගේ සැමියාට පවරා තිබේ.

සැකකරු සොයුරියන් දෙදෙනා සහ මස්‌සිනා සමග වෛර බැඳ ඇත්තේ ඉන් පසුවය.

සහෝදරියන් දෙදෙනා සහ මස්‌සිනා ඝාතනය කරවා හෝටලය අයිතිය තමාට ලබා ගැන්මට සිතූ සැකකරු ඒ සඳහා රුපියල් ලක්‍ෂ 7 ක මුදලක්‌ තිදෙනකුට දී තිබේ.

තිදෙනකු ඝාතනය කිරීමට රුපියල් ලක්‍ෂ හතක මුදලක්‌ ප්‍රමාණවත් නොවන බව කල්පනා කළ මෙම තිදෙනා මිනීමැරුම් කොන්ත්‍රාත්තුව හරහා මුදලක්‌ සොයා ගැනීමට අදිටන් කරගෙන ඇත.

ඒ අනුව හෝටලයේ භාරකාර යුවළට දුරකථනයෙන් කතා කර ඔවුන්ව මරා දැමීම සඳහා කොන්ත්‍රාත්තුවක්‌ ලැබී ඇති බවත් මරා නොදැමීමට නම් රුපියල් ලක්‍ෂ 3 ක කප්පම් මුදලක්‌ අවශ්‍ය බවත් පවසා ඇත.

හෝටලයේ නව භාරකාර යුවළ තමාගෙන් පුද්ගලයකු කප්පම් ඉල්ලන බවට පයාගල පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබිණි.

එමෙන්ම මෙසේ කප්පම් ඉල්ලන බව පිටරට සිටින සොහොයුරියටද දැන්වීමෙන් පසු ඇයද 1 වැනිදා ලංකාවට පැමිණ තිබේ. සැකකරුවන්ගේ අරමුණවී ඇත්තේ කප්පම් මුදලුත් ගෙන ඝාතන කොන්ත්‍රාත්තුව ඉටුකිරීම බව පොලිස්‌ පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් ද සිල්වා මහතා මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට කළුතර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර කළේය.

ඒ අනුව කළ සැළසුමකට අනුව පෙරේදා (5 දා) කප්පම් මුදල් රැගෙන යැම සඳහා හෝටලයට පැමිණි සැකකරු සැඟවී සිටි පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම ඝාතන කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මෙම සැකකරුවන් ළඟ තිබී රුපියල් ලක්‍ෂ තුනක මුදල් මෙන් සැකසූ කඩදාසි පාර්සලයද රම්බෝ වර්ගයේ පිහියක්‌ද, ජංගම දුරකථන 3 ක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනා ඊයේ (6 දා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. 


දිවයින
 
Top