ඩුබායි ශ්‍රී ලාංකිකයා
ජල ටැංකියට පැන දිවිනසාගෙන
ඩුබායිහි අල් ක්වොස් ප්‍රදේශයේ අල් කයිල් නමැති නිවාස සංකීර්ණයක නිවැසියන්ට පසුගිය දින කිහිපයේ සෞඛ්‍ය ගැටලූ ගණනාවක් පැනනැගී තිබුණ අතර වැඩිදුර සොයා බැලීමේදී නිවෙස් වලට සැපයෙන ටැප් වතුර වල අමුතු ගඳක් වහනය වීමත් එහි පැහැය වෙනස්ව තිබීමත් නිසා සැකයක් පහළවී තිබුණා. ඒ බව බලධාරීන්ට දැන්වූ පසු එම නිවාස සංකීර්ණයට ජලය සැපයෙන ටැංකි පරීක්ෂාවට ලක් කර තිබුණ අතර
ඔවුන් විස්මයට පත් කරමින්
ගොඩනැගිල්ලක වහල මත ගොඩනගා තිබුණ ප්‍රධාන ජල සැපයුම් ටැංකියක මළ සිරුරක් තිබී හමුවුණා.
පසුගිය අ`ගහරුවාදා රාත්‍රියේ එරට පොලිසිය මළ සිරුර ගොඩගැනීමෙන් අනතුරුව මේ තැනැත්තා කවුරුද යන්න එක්වරම හඳුනාගන්නට නොහැකිවූයේ මළ සිරුර දියවී විකෘතිව තිබුණ නිසාය. මේ අතරවාරයේ සතියක පමණ කාලයක සිට අතුරුදන්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරු පොලිසිය මේ සමග ගළපා බැලු විට මළ සිරුර එම තැනැත්තාගේ බව හඳුනාගත්තා.
ඩුබායිහි පිහිටි ජුමේරියා බීච් රෙසිඩන්ස් නමැති රුසියානු හෝටලයේ සේවය කළ ශ්‍රී ලාංකික කෝකියෙකු මේ ආකාරයට මිය ගොස් තිබුණා. වයස අවුරුදු 34 ක පුද්ගලයෙකු බව කියන ඔහුගේ නම එරට මාධ්‍ය මගින් අනාවරණය කර නැත. මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව කාලය ගත කරන පුද්ගලයෙකු බවත් කිසියම් වරදකට ඔහුව සේවය කළ හෝටලයෙන් අස්කර තිබුණ බවත් වාර්තා වුණා. ඒ නිසා සිත්තැවුලෙන් සිටි ඔහු දිවිනසාගන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරනවා.
ආරක්ෂිත ස්ථානයක මෙම ටැංකිය පිහිටා තිබුණ අතර ඔහු එයට ඉබේ වැටෙන්නට විදිහක් නැතැයිද හිතාමතාම මෙම ටැංකිය පිහිටි ස්ථානයට නැග එයට පැන ඇතැයිද පරීක්ෂණය අනුව අනාවරණය වී තිඛෙනවා. හමුවූ මළ සිරුරේ මෙම පුද්ගලයාගේ පිටේ තිබුන පච්චය මගින් ඔහු සමග කාමරයක නවාතැන්ගෙන සිටි අනෙක් ශ්‍රී ලාංකික මිතුරා ඔහුව හඳුනා ගත්තා.
මිතුරාත් ඔහුත් මෙම නිවාස සංකීර්ණයේම කුලී කාමරයක ජීවත්වී ඇත. තම මියගිය සගයා ගැන මිතුරා අදහස් දක්වමින් පැවසුවේ,
ලංකාවේ අයට මුදල් යැවීම සඳහා ඔහු එම රැකියාව කළ බවත් ඔහු මුදල් නොයැව්වේ නම් බරපතල ආර්ථීක ප්‍රශ්න වලට ඔහුගේ පවුලේ අය ලක්වන්නට ඉඩ තිබුණ බවත්ය. පසුගිය දිනවල මතුවූ අනපේක්ෂිත ප්‍රශ්නයක් නිසා හෝටල් රැකියාවෙන් ඔහු ඉවත් කළ නිසා සිත් තැවුලට පත්ව කරකියාගත දෙයක් නැතිව තමා සමග කථා කළ බවත් දින ගණනාවක්ම ඔහු අධික ලෙස බීමත්ව සිහි විකලෙන් එහේ මෙහේ ඇවිද ගිය බවත්ය.
ඔහු අතුරුදන්වී තිබීම ගැන පොලිසියට දන්වා තිබුනේ පසුවයි. මළ සිරුර හමුව ඇත්තේ අතුරුදන්වීමෙන් සතියකට පමණ පසුය.