මලයාසියානු යානයේ කළු පෙට්ටියෙන් සංඥා නිකුත් වේලාලු! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මගීන් 239 දෙනෙකු රැගෙන පසුගිය මස 8 වැනිදා ගුවන් ගත වී අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට උපකල්පනය කරන සංඥා කිහිපයක් චීන මුර සංචාරක යාත්‍රාවකට ග්‍රහණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට ඉන්දියන් සාගර අභ්‍යන්තරයේ සිට ශබ්ද සංඛ්‍යාත 37.5 ඔස්සේ නිකුත් වී ඇති මෙම සංඥා ග්‍රහණය කරගෙන ඇත්තේ හෙයික්සං 01 නමැති නෞකාවකිනි.

ගුවන් යානයක කළු පෙට්ටියේ බැටරියේ ආයු කාලය දින 30ක් බව කියැවේ.

යානය අතුරුදන්ව මේ මස 8 වැනිදාට මාසයක් සම්පූර්ණ වන අතර ඊට පෙර කළු පෙට්ටිය සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙම යානයට සිදුවූයේ කුමක්දැයි සදාකාලික අභිරහසක් වනු ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බලධාරීන්ගේ මතයයි.


මේ නිසා එය සොයාගැනීමේ මෙහෙයුම මෙම දින කිහිපය තුළ තවත් දැඩි කර තිබේ. මේ අතර අද කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට සැක කළ සංඥාද එවැනිම තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින ගණනාවක් තිස්සේ සොයමින් සිටි සංඥාව එය බැව් යන්න බලධාරීන් නිශ්චිත ප්‍රකාශයක් ද සිදුකර නැත.

ගුවන් යානයක කළු පෙට්ටිය ගැඹුරු ජලයේදීත්, අධික තාපයේදීත් විනාශ නොවන බව පැවසෙන අතර ගුවන් යානයක සියලු දත්ත කළු පෙට්ටියේ සුරක්ෂිත බැවින් යානයට සිදුවූ දේ සොයා ගැනීමට ඇති එකම වැදගත් උපාංගයද එය වේ.

නියමු කුටියේ ශබ්ද, යානයේ ඇතුළත ශබ්ද සහ සියලු විධානයන් ද මෙහි අඩංගු බව කියැවේ.

යානය අතුරුදන් වූ දිනයේ සිට එය සෙවීමේ කටයුතු වඩාත් පුළුල් කළ අතර එය වරෙක පැහැර ගැනීමක්, මුහුදට කඩා වැටීමක් වැනි විවිධ කරුණු මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.

කෙසේ වුවද ඒ කිසිදු අදහසක් ස්ථීරවම සනාථ කර ගැනීමට නොහැකි විය.
 
Top