ඇන්ටනාව දිගේ ආ මධුෂාන්ගේ මාරයා

පසුගිය 23 දින සවස්‌ වරුවේ ධාරානිපාත වර්ෂාවක්‌ ආණමඩුවට ඇද හැළුණි. මහ වැස්‌සට පෙර නිවෙස්‌ හිමි අතුල නිවෙස බලා කඩිනමින් ආවේ තව දින කීපයකින් සිය තෙවන දරුවා බිහි කිරීමට වේදනාවෙන් හිඳින තම බිරිඳත් පාසල් යන වයසේ පිරිමි දරුවන් දෙදෙනාත් වැස්‌සෙන් රැක බලාගෙන නිවසට වී සිටීමටය.

ඔහු රැකියාව වශයෙන් කළේ වතුවල පොල් කැඩීමය. ඉන්ද ගොවිතැන්වලට හවුල් වී උපයා ගත් සොච්චම් මුදල ඉතිරි කරගත් ඔහු සිය බිරිඳත් සමග කටු මැටි ගසා පැල්පතක්‌ සාදා පොල් අතු බැඳ ඉසට වහලක්‌ තනා ගත්තේය. එය හිතට නිවනක්‌ නොවූයේ පොල් අතු දිරා මහ වැස්‌සට ගෙයි ගොම මැටි පොළව මත දිය කඩිති සෑදීමත් මැටි බිත්ති දිය පාරවලට දියවී යාමත් නිසාය.

ඔහු සවස සිය බිරිඳට සාත්තු කරමින් නිවස තුළ සිටියදී ඉෂාර මධුශාන් දිසානායක (13) තක්‍ෂිල ලක්‍ෂාන් (07) පුතුන් දෙදෙනා සිටියේ මැටි ඉස්‌තෝප්පුවේ හිඳගෙන මහ වැස්‌ස දෙස ආසාවෙන් බලාගෙනය.

මහ වැස්‌සට පැන මඩකරියන් මෙන් නටන්ටත් දිය පාර දිගේ කඩදාසි බෝට්‌ටු පදින්නටත් ඔවුනට මහත් ඕනෑකමක්‌ තිබුණද මාපියනට බියෙන් ඔවුහු වැසි දිය බැලීමෙන් පමණක්‌ සැනසුණහ.

එහෙත් ගත වූයේ මොහොතකි. මහා හඬකින් පළාතම ගිගුම් දුන්නේය. එළිපත්ත සිටි ගෙදර සුරතල් බලු
කුක්‌කා කැබලි වී විසිරී ගියේය. කුමක්‌ වී දැයි කිසිවෙකුට වටහාගත නොහැකි වූයේය. ලොකු පුතු මධුශාන් බිත්තියට හේත්තු වී දැස්‌ උඩ ඉන්දාගෙන සිටියේය. පොඩි මල්ලී ලක්‍ෂාන් ඔහුගේ ඔඩොක්‌කුවේ දඟලමින් සිටියේය. මධුශාන් මරුවා විසින් එකහැර පැහැර ගත් අතර ලක්‍ෂාන් කම්පනයට පත් වී බේරුණි.

නිවසේ පිටුපස ලී කණුවක සවිකර තිබු ඇන්ටෙනාව දිගේ අකුණු සර අවුත් ඔවුන්ගේ සුරතල් බල්ලා පුපුරුවා මරා දමා ඉදිරිපස බිම හිඳ සිටි මධුශාන්ගේ පෙණහැලි ඇතුළු ඉන්ද්‍රීය අකර්මන්‍ය කරමින් ඇදී ගොස්‌ තිබිණි.

මධුශාන්ගේ දේහය සහිත පෙට්‌ටිය තබා ගැනීමට වත් ගෙයි ඉඩ තිබුණේ නැත. මල්ලී ලක්‍ෂාන් මහ හඬින් හඬා වැටුණේ අයියේ මම ආයේ කවුරු එක්‌කද ඉස්‌කෝලේ යන්නේ කියායි. අම්මාද තාත්තාද හැඩූ කඳුළු ගංගාවට තට්‌ටෑව ගම්මු දහසකගේ කඳුළුද එක්‌වී 25 දින තට්‌ටෑව පොදු සුසාන භූමියට ඇද හැළුණ මහ වැස්‌සට මුසුවී ගියේ කාටත් කරදරයක්‌ නැති අසරණ මධුශාන් වෙනුවෙන් ශෝකී විලාපයක්‌ ද නගමිනි.

ඇයි මෙවන් අසරණුන්ටම හෙණ පාත් වන්නේ දෙවියන්ගෙන් අප අසන ප්‍රශ්නය එයයි.